Tuesday, November 22, 2016

මගේ නොවන මගේම මතක....

අපි හැමෝටම මතක තියෙනව, සමහර ඒවා ටික කාලෙකින් අමතක වෙන... තවත් සමහරක් ජීවිත කාලයටම අමතක කරන බැරි...ඒවත් එක එක විදිහට වර්ග කරන්න පුලුවන් විදිහෙ...හුඟක් වෙලාවට අපිට තියෙන්නෙ අපේ සමීපතමයන්ගෙ මතක, එහෙමත් නැත්තන් අපි ආදරේ කරපු මිනිස්සු එක්ක තියෙන මතක..එක්කෝ විරසක වීම් එහෙමත් නැත්නම් එක්වීම්...අපි බහුතරයක්ගේ කතාව ඕකයි...ඒකට හේතුව අපි වැඩිපුර සංවේදී වෙන්නෙ අපේ දේවල් වෙනුවෙන් නිසා...කලාතුරකින් තමයි අපිට අපේ කියන දම්වැලෙන් ගැට නොගැහුණු මතක තදින් කාවදින්නෙ....
ඔව්, මටත් තියෙනව ඒ වගේ මගේ කියල ගැට නොගහපු නමුත් මගේම වුණ අමතක නොවෙන මතක කීපයක්.. මේ ඒ වගේ කතාවක්..
.
හුඟක් වෙලාවට පානදුර ටවුමෙන් බැහැල නයි පෙනේ ගාවට වෙනකන් වත් ස්කෝලෙ ගියේ කලාතුරකින්, ඒ තමයි ඒ ලෙවල් කාලේ හැටි...එක්කෝ බේරුවලින්ම බැහැල වීරෙගෙ ගෙදරට ගිහින් පාඩම් කරනව කියල මොකක් හරි මගෝඩි වැඩක්, නැත්තන් පානදුර ස්ටේෂමෙන් බැහැල ඊලඟ කෝච්චියෙ ගෙදර එනව..ඒකත් නැත්තන් ටවුමෙන් හැරිල පුංචිලගෙ ගෙදර ගිහින් කට කපල නිදාගන්නව..ඕක තමයි වැඩි පුරම ඒ ලෙවල් වලට කරේ...
.
.
එදා යාලුවො එකෙක්වත් නෑ...මම තනියම...ඒ නිසාම ස්කෝලෙ ගියා ඉතිං..1.30ට බෙල් එක වදිනකන් ඉන්නව කියන එක ඇඟ කහනව වගේ වැඩක්...ඒකත් කුප්ප කතාවක් කියන්න එකෙක් නැතුව...කල්ප දෙක තුනකට පස්සෙ ඔන්න 1.30 වෙලා.ගේට්ටුවෙන් එළියට පැන්නෙ හරියට හතරමහ නිධානෙ හම්බ වුණා වගේ කියල හිතාගෙන...පයින්ම ටවුමට ආවා...නයි පෙනේ ඉස්සරහ හිටගෙන ටිකක් කල්පනා කරා...ගෙදර යන්න පුරුදු වෙච්ච බස් තුනක් තිබුණා..එක්කෝ තංගල්ල චන්දිමාල් එක, නැත්තන් මිද්දෙනිය විජිත, එහෙමත් නැත්තන් ජයතිලක අය්ය ඩ්‍රයිව් කරන දර්ශන එක....ඒව එන්න වෙලා තියෙනවනෙ...ඒ නිසා මෙතන ටිකක් ඉන්නව කියල හිතුවා...
" මහත්තයා" එක පාරට ඇහිච්ච සද්දෙට මම බැලුවේ අපෙ අම්මටත් වඩා ආදරෙන් මට කතා කරේ කවුද කියල...
" මහත්තයා, මල්ලිටයි නංගිටයි බඩගිනියි, කීයක් හරි දෙනවද.. "
මට ඉබේම බැලුනෙ පොඩි උන් දෙන්න දිහා..අවුරුදු 12ක විතර පොඩි කෙල්ලෙක්, තව පොඩීම කෙල්ලෙක්වත් වඩාගෙන,අනිත් පොඩි එකා අතින් අල්ලන්....සාක්කුවට අත ගියේ ඉබේටම..එක රු.20යි තිබුණෙ...ඒක දුන්නොත් බස් එකේ යන්න වෙන්නෑ...දන්න බස් එකක නම් කියල යතෑකි,ඒත් දන්න එකක් නාවොත්...?
" අද අතේ සල්ලි නෑ නංගියො" කියල මම අමාරුවෙන් කිව්ව...
කෙල්ලත් මුකුත් නොකියා ඊඟ මනුස්සය පැත්තට ගියා...
එච්චරයි...මම ආපු බස් එකක ගෙදර අවා..
.
ඊඟ දවසෙත් පුරුදු විදිහටම කෝච්චියෙන් බැහැල ස්කෝලෙ පැත්ත වෙනුවට මම පුංචිලහට යන්න පානදුර බාලිකාව පැත්තට හැරුණා...බාලිකාව ඉස්සරහ ටිකක් පලල කාණුවක් තියෙන්නෙ ඇවිදන් යන ගමන් නිකමට කාණුව ඇතුල බැලුව...
කාණුව හරහට දාපු බැනර් එකක් යට අර පොඩි උන් දෙන්න නිදි..ඒ රූපෙ මට කවදාවත් හිතෙන් අයින් කරන්න බැරි තරමට හිතේ වැදුනා...මට රු.20දීලා කෝච්චියෙ හොරෙන් හරි යන්න තිබුණා...ඒකට තව පැයයි ඉන්න තිබුනේ ටවුමෙ..ඒත් මම එහෙම කරේනෑ කියන එක මට හිතට වද දුන්නා....හිඟා කන හැම කෙනාම කරන්න දෙයක් නැතිකමටම කරනව නෙමෙයි කියල මම ඉගෙන ගත්තේ ශ්‍රීලංකාවේ යාචකයෝ පොත කියෙව්වම..
ඒත් අර පොඩි උන් දෙන්න....?
උන් දෙන්න මොනව දන්නවද... නෙට් එක නැතුව අවුරුදු 18ක මට නිදාගන්න බැරි එකේ ඒ පොඩි උන් දෙන්න කොහොම කාණුවක නිදියනවද..? මේ වගේ ප්‍රශ්න දිගටම හිතට වද දුන්න...
මගෙ රු.20න් ඒ ළමයි සැප ජීවිත ගත කරන්නෑ, ඒත් ඒ වෙලාවෙ නුදුන්න එක වරැද්දක් කියන හැඟීම කවදාවත් මගෙන් අයින් වුණේ නෑ..දැන් අවුරුදු 10ක් වෙනව...සමහරවිට ඒ ලමයි හොද තැනක ඇති..සමහරවිට ජීවත් නොවෙනවත් ඇති...ඒක ලෝකේ ස්වභාවය...
.
උන් තුන්දෙනා ජීවත් වෙලා ඉන්නවනම් කවද හරි මුණ ගැහුවොත් මට උන්ට කියන්න ඕනේ
" මට සමාවෙයන් කියල "
.
එච්චරයි...
.
.
.
.
නෝටී..



No comments:

Post a Comment