Sunday, June 11, 2017

ඇන්ටික් ලව් vs. ස්මාර්ට් ලව්

අපි හැම තිස්සෙම කරන්නෙ බාල පරම්පරාවට බනින එකනේ...
උඹලට වඩා ආතල් අපි ගත්තා...උඹලට වඩා ඒ අතින් අපි වාසනාවන්තයි කියන එකනේ...ඒත් සමහර තැන් තියෙනව අපි උන් තරම වාසනාවන්ත නොවුණ...
උන් තරම් නිදහස් නොවුණ...
.
පොඩි කාලේ...ඒ කිව්වේ 18, 20 කාලේ..කෙල්ලෙක් එහෙම ලාවට යාලු කරගෙන කප්පරක් පෙම් වදන් ලියාගෙන, නිදි නැතුව අනාගතේ ගැන ප්ලෑන් ගහන කාලේ...
අපි බඳින්නෙ මොන වයසෙන්ද...?
අපි ලමයි කීයක් හදන්වද..?
ගෙදරින් බර බරේ දැම්මොත් පැනල යනවද නැත්තන් එයාලගෙ බොක්ක උණු වෙන්න ටෝක් එකක් දීලා කැමැත්ත ගන්නවද..?
මේ වගේ දාහක් ප්‍රශන තියෙනව...
.
ඉතිං ඒ හිතෙන ඒවා පුල්ස්කැප් කොලයක් අරන් ලියනව...
උඩ කොණෙන් දකුණේ...පුරුදු විදිහටම "අහස යට "
පටන් ගැන්මෙ සුදු නෝනා...ඊට පස්සෙ පැය දෙක තුනක් එක දිගට හිතෙන එව්ව ලියනව...අන්තිමට ලියුම පුල්ස්කැප් 6කට 7කට අඩු වුණොත් ඒක ලොකු පුදුමයක්....
සතියකට මෙයින් කීපයක් හුවමාරු වීම සාමාන්‍යයි...ඒත් හිටි හැටියේ දවසක් මෙහෙම කිව්ව...
"අයියේ අපි ට්‍රිප් එකක් යනව...දවස් හතරක්..මට දිග ලියුමක් ඕනේ ඒ ටිකේම කියවන්න..මං ගෙදරට අහු කරගන්නෑ, ප්‍රොමිස්.."
.
ඉතිං මොකේද දන් වළඳන්නේ...
ලියල දුන්න...ගිහින් ආවා..ඊළඟ දවසෙ හම්බවුණාට වැඩි කතා බහක් නෑ..අන්තිමට ලියුම් කෑල්ලක් දීලා බැහැල ගියා..මම ගෙදර ගිහින් මුලින්ම කරන්නෙ ඒක කියවන එක....
ඔලුව අවුල් වුණා වගේ වුණා...
ලියුම අහුවෙලා ඇතිවෙන්න ගුටි කාලා...අන්තිමට තිබුණා අදම එක්කෝ අරන් යන්න නැත්තන් මං මැරිල ඉඳීවී කියල....හරිම අසරණ වෙන වෙලාවක්...අද වගේ සෙල් ෆෝන් නැති, ෆේස් බුක් නැති අඩුම යාලුවෙක්ට පණිවිඩයක් කියන්න යන්න ෆුට් සයිකලයක් නැති වෙලාවක් තිබුණා...
දවස් ගාණකට පස්සෙ හම්බ වෙද්දි මොකක්දෝ දෙයක් බීලා ඉස්පිරිතාලෙත් ගිහින් ගොඩ ඇවිත් තිබුණා...ඒ තරම් බය වෙල තිබුන, ඒ තරම් අසරණ වෙච්ච වෙලාවක් ඒ වෙනකම් ජීවිතේ තිබුණේ නෑ....
.
ඒ අතින් අද පරම්පරාව කොච්චර වාසනාවන්තද..?
උඹලට කොහොම කතාක්‍රල තමන්ගෙ ප්‍රශන විසඳ ගන්න බැරිද...
ස්මාර්ට් ලෝකෙක ස්මාර්ට් විදිහට ආදරේ කරන්න වාසනාවක් අපිට තිබුන්නෑ..
ඒකෙන් ප්‍රයෝජන ගනිල්ල...
කෙල්ලගෙ අරක මේක වීඩියෝ කරගන්න කලින් ඕකේ තියෙන දේවල් පාවිච්චි කරල තම තමන්ගෙ අදහස් බෙදා ගනිල්ල, ඒ අදහස් නොගැලපෙන තැන්වලදි ෆ්ලෙක්සිබල් වෙලා සීරූ මාරූ කරගනිල්ල...
දවසෙම මල් කඩනව කියන්නේ ඒකට..අපිට සතියක් ගිහින් කතාකරගනන් බැරිවුණ ප්‍රශ්න උඹලට දවසෙන් කරගන්න පුලුවන්...
තාක්ෂනේ වාසිය ජීවිතෙ ලස්සන කරගන්න තියගමු...
නාස්තිකරගන්න නැතුව..
.
.
.
.
.
නෝටී


Monday, June 5, 2017

මං ආදරේ මේ පොළවට....

වවන්නත් උණක් තියෙන්න ඕනේ...
කාලෙකට පස්සෙ පැල දිගට හරහට පැල කරන් යද්දි මතක් වුණා කාලෙකට ඉස්සර උණ සැරටම තිබ්බ කාලේ ගැන...ඒ ලෙවල් ඉවර වෙලා හැම එකාම ටයි දාපු ජොබ් හොයද්දි මමත් තව එකෙකුත් හිටිය ඒකට විරුද්ධ පැත්තෙ...
ඒ කාලේ මට මතක තිබුණා අපිට බයොලොජි කරපු ආචාර්‍යය නිශ්ශංකද සිල්වා (දැන් මහාචාර්‍යය ) සර් කියපු කතාවක්...
එක කොල්ලෙක් හිටියලු බයෝ කරපු..ඒ ලෙවල් වලට උගන්නපු මත්ස්‍ය පාලනය ගැන හිත වැටිච්ච මිනිහ ඒ ගැන තව විස්තර ටිකකුත් හොයාගෙන වත්තෙ ටැංකි ගහල පටං ගත්ත මත්ස්‍ය පාලනය..මේක සුරතල් මසුන් නෙමෙයි ආහාරය සඳහා වවන මිරිදිය මත්ස්‍ය වගාවක්...හොද ගානක් හොයන සාර්ථක වියාපාරයක් විදිහට මිනිහ ඒක කරන් ගියා කියලයි කිව්වෙ...
මේ කතාව හරි තදට මගේ හිතේ තිබුණා..ඒකටම හරියන එකෙක් මොන්ටිසෝරියෙ ඉදන්ම මට හිටපු නිසා වැඩේ ලේසි වුණා...ඉගෙන ග්ත්තු දෙයින් වැඩක් ගන්න ඩිග්‍රි ගහන්නම ඕනේ නෑ කියන තේමා ගීතය එක්ක අපි වවන්න දෙයක් ගැන හිතුවා...
දෙන්නටම කියල පර්චස් දහයක් නොතිබුණා වුණත් තිබුණ උණ නම් බැස්සෙම නෑ...
එක පාරටම තරිඳුවා, නැත්තන් මේ කතාවේ අනිත් චරිතෙ ආරංචියක් ගෙනාවා ලංකාවට ඩ්‍රැගන් ෆෲට් හදුන්වාදුන්නු මේජර් මනෝජ් බුලත්සිංහල වත්තක් කරනව කියල...දෙපාරක් හිතුවේ නෑ..බයික් ගත්ත ගියා..බයික් කිව්වට ෆුට් බයික්...කි.මී 47ක් වගේ දුරක් ගිහින් යාලුවෙක්ගෙ ගෙදරක නැවතිලා එහෙම ඊලඟ දවසේ වතුයාය හොයාගෙන ගියා...
අක්කර 35ක් තනිකර ඩ්‍රැගන් ෆෲට් වගාවක්..ඒ විතරක්ද තව පලතුරු වර්ග ගොඩක්..අපි ගිහින් ආපු අනිත් කට්ටියත් එක්ක වාඩි වුණා...ඩ්‍රැගන් ෆෲට් කෑල්ලක් එහෙම රස බලල කතාව අහන් හිටියා...ඉඳලා අන්තිමට තනියම පොඩ්ඩක් කතාවට අල්ල ගත්තා..අපේ උනන්දුව දැකලද මන්දා මේජර් කැමති වුණා ලක්ෂ 4ක් පැල ආදායමෙන් කපා ගන්න අපිට දෙන්න...ඉඩම සහ පොහොර ගැනත් උපදෙස් දුන්න...
.
අපි ගෙදර ආවා..සඳුන් මල්ලිවත් වැඩේට කතකරගත්තා...දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුවට අල්ලපු වැටෙන් යාලුවෙක්ගේ (චරියගේ ) ඉඩමෙන් අක්කරයක් ඉල්ල ගත්තා..තනිකර දියපර කැලයක්...සතිගාණක් තිස්සේ කැලේ එක්ක ඔට්ටු වුණා...උදේ 7ට බෙන්තරින් පුටාර් එකේ යනව..ආයේ 2ට එනව හවස පන්තියට උගන්නන්න...ඒ ආවම රටහුණු කෑල්ල අල්ලන්න බැරි තරම් ඇඟිලි රිදෙනව..ඒත් හරි සතුටුයි..ඒක වේදනාවකට වඩා සොඳුරු  රිදුමක් වගේ....
.
උගන්නන ගමන් ලමයි එකක්ත් කියනව ඒ බෑවුමේ තියෙන දේවල් ගැන....උඩහට වෙන්න තියෙන ගල්කුළු ගැන....කාලේ ගෙවිල අපි අක්කරේම සුද්ද කරල ඉවරයි...කොන්ක්‍රීට් කණු 25ක් ගහන්න ඕනේ...එකකට වියදම 1000ක් 1500ක් වත් විතර...හතර අතේ හෙව්වත් ඒ ගාන හම්බ වුණේ නෑ..බැංකු අපි වගේ යන්තන් අවුරුදු 19ක 20ක කොල්ලො දෙන්නෙක් විස්වාස කරල ණය දුන්නෙ නෑ....අන්තිමට අත් ඇරලා දාන්න වුණා.....හිතේ වෙච්ච මහන්සිය ගැන දුකක් තිබුණෙ නෑ...ඒව මතක...හරි ලස්සන මතක...
.
අදටත් අපිට ඒ හීනේ එහෙමම තියෙනව...ටිකක් වැඩි දියුණු වෙලා...නිකම්ම වවන්න නෙමෙයි..තාක්ෂණය එක්ක පොර බඳන්න...
ටිෂූ කල්චර් ෆාම් එකක් දාන්න...
අක්කර ගාණක වවන්න...
ඒ සීතල විඳින්න අදටත් අපි දෙන්නම ආසයි...
.
ඒක උණක්...හරි ආදරෙන් වැළඳ ගත්තු උණක්...ටයි කෝට්, උපාධි ලෝගු, බෙන්ස් බී එම් නැතුවත් ජීවිතේ විඳින්න පුලුවන් සල්ලි හොයන්න පුලුවන් අවස්ථා වැහි වැහැල තියෙන රටක ඉන්නෙ අපි...ඒකයි මට කවුරු හරි කිව්වම මචං පලයන්කො ඩුබායි, පලයන්කො මාලේ කියල හිනාවක් දාලා ශේප් වෙන්නෙ..මං ආදරේ මේ පොලවට, ඒකෙම ජීවත් වෙලා ඉස්සරහට යන්න පුලුවන් කියල ලොකු විස්වාසයක් අදටත් තියෙනව...
.
ඉස්සරහටත් තියේවී...
.
.
.
.
නෝටී