Tuesday, November 29, 2016

සේකර නේද කිව්වෙ.. " ලෝකය තනි යායක්" කියල.....

ඊයේ රෑ ගෙදර ගියේ මාසෙකින් වගේ...එක දිගටම මාසයක් වැඩ කරා කියන එක එච්චර ගානක් වුණේ නැති වුණාට ගම කියන එක මතු කරන්නෙ වෙනමම හැඟීමක්...විස්තර කරගන්න බැරි අමුතු නිදහසක් ඔලුවට දෙන්න, හිනාවක් මූණට දෙන්න, සැහැල්ලුවක් ඇඟටම දෙන්න පුලුවන් එකම තැන ගම...
වේලිච්ච දෙසැම්බර් හුළඟ ඇඟට ගේන්නෙ තෙහෙට්ටුවක් නම් නෙමෙයි...නොවැම්බර් ඉවර වෙන්නත් කලින්ම ආවේ ආදරේටද, තරහටද කියන්න බැරි වුණාට ඒ සීතලට හිත යටින් මම ආස කරා...
ගෙදරදි තමයි මතක් වුණේ වැදගත්ම ඊමේල් වගයක් තියෙනව නේද යවන්න කියල...උදේ නැගිටල ආයෙත් ආවා...එන ගමන් පුරුදු තේ කඩේ ගාව වීල් එක නවතින්නෙ ඉබේටම...කොණකට වෙන්න වීල් එක නවත්තද්දිම කජු, කඩල විකුණන වයසක මාමා කෙනෙකුත් ආවා..කජු කඩල මල්ල අයිනකින් තියල කොලේකින් වහපු මාමා කඩේ පිටි පස්සට ගියා...තත්පර ගාණයි ගියේ මෙන්න මිනිහා තැන තැන වැටිච්ච කොල අතුගානව ඉදලත් අරන්...
.
මම දන්නව කඩේ මිනිස්සු කවදාවත් ඕක කරන්න ඒ මනුස්සයට කිව්වෙ නෑ කියල..ඒත් ඒ මනුස්සය කිසි හාවක් හූවක් නෑ දිගට වැඩ...
මිනිස්සු කොයි තරම් නම් සුන්දරයිද...?
.
අපේ තියෙන වැරැද්ද සිද්ධියක් දැක්කම ඒකත් එක්ක බැදිච්ච දාහක් දේවල් ඔලුවට තත්පරේට ගලාගෙන එන එක...මමයි කියල වෙනසක් නෑනේ..හිත ගියේ ඒ ලෙවල් ලාස්ට් ඉයර් එකට...ස්කෝලෙ නොගියත් කෙල්ලව බලල කතා බහ කරගන්න මම 1.30 වෙද්දි පානදුර බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එකට නගින එක වරදින්නෑ...
එදත් පුරුදු විදිහටම මිද්දෙනිය බස් එකේ ආවා...අලුත්ගමින් පුරුදු විදිහටම කජු කඩල විකුණන අය කීප දෙනෙක් නැග්ග...මම ඊලඟ එකෙන් බහින්න ඕනේ නිසා ෆුට් බෝඩ් එකට බැස්ස...බෙන්තර පාලම කිට්ටු වෙද්දි වයසක කඩල කාරයෙක් මට උඩට එන්නලු..මම කිව්ව මම බහින්න ඉන්නෙ තව ටිකකින් ආයේ උඩට එන්න දෙයක් නෑ කියල...මේ යකා මට පාරකුත් ගහගෙන එක පාරටම පාලම් දෙක මැද්දෙ බස් එක ස්ලෝ වෙද්දි පැන්න...මට පුදුම කේන්තියක් ආවේ...ඒ වෙලාවෙ අහු උනානම් ඕකව ගඟට දානව කියල මම කොන්ද එක්කත් කිව්ව...කේන්තිය හිතේ හුඟක් වෙලා තියෙන්නෑ..ඒක අමතක වුණා....දැන් අවුරුදු 09ක් වෙනව...අදටත් ඒ මනුස්සය කජු කඩල විකුණනාව...
ඔව් ඒ මම එදා වෛර කරපු මිනිහ...අද මම සොඳුරු මිනිහෙක් විදිහට දකින මිනිහ.. දෙන්නෙක් නෙමෙයි...ඒ එක්කෙනෙක්....
.
හැම කලු පසුබිමකම පොඩි හරි සුදු තිතක් හරි තියෙනවමයි....හැම මිනිහෙක් ලඟම හොඳ නරක දෙකම තියෙනව...මේ දෙක කලමණාකරණය කරගන්න විදිහටයි අපිව සමාජයෙන් හංවඩු ගහන්නෙ...
.
.
අන්තිමට මටම හිනාවක් ගියා...ෆිල්ටරේටම පත්තු වෙච්ච ඩන්හිල් එක අයිනට දාලා පාගල මම වීල් එක ස්ටාර්ට් කරගත්ත...
.
ඔව්....කාලයක් මම වෛර කරපු මිනිස්සුම මම ආදරේ කරන වුන් වෙලා...මම ආදරේ කරපු උන්,....
උන්ට සමහර වෙලාවට මම උන්නද මලාද මතකත් නෑ...
.
ආදරේ කරන මිනිස් ගොඩ අඩු කරගන්නෙක හරි නෑ...වෛර කරපු උන්ගෙ හොද හොයන්න මම හිතා ගත්තා...ඒ හොදට ආදරේ කරල ආදරේ ගොඩ වැඩි කරගන්න ඕනේ...
.
ලෝකෙටම ආදරේ කරන එක එතකොට මහ දෙයක් නෙමෙයි...
.
.
සේකර නේද කිව්වෙ.. " ලෝකය තනි යායක්" කියල.....
.

.
.
.
.
.
.
නෝටී

විඳින්න...ඔව් පුලුවන්...

උදේම වැඩට බැහැල උදේ 10ට විතර බැල්කනියට ගියේ ටිකක් රිලැක්ස් වෙන්න..පාර දිහා බලන් ඉන්නෙක ටිකක් ඒකාකාරී වුණාට දිගටම වැඩ කරනවට වඩා ඒක සහනයක්...ටිකක් වෙලා ඉදිද්දි සමනලයෙක් ඇවිත් ටී ශර්ට් එකේ වැහුවා...ඇඳන් හිටපු ස්කූල් ගෙට් එකේ ගත්තු ටී ශර්ට් එක තිබුණ බැච් එකට තමයි සමනලය ඇදිලා ආවේ...නිල් පසුබිමේ තියෙන කහ පැහැයට තමයි සමනලය ඇඳිල අවේ...මම හෙලවෙන්නැතුව බලන් හිටිය...ෆෝන් එක අරන් ෆොටෝ එකක් ගන්න ඕනේ වුණත් මට ඊට වඩා ඒ දිහා බලන් ඉන්න එක වටිනව කියල හිතුනා...තත්ත්පර ගාණකින් ඌ ඉගිලිල ගියා...ඒ තත්පර ගානම වෙන මුකුත් මට තිබුන්නෑ...මට ලෝකෙම අමතක වුණා කිව්වොත් හරියටම හරි....මම විනාඩි ගාණක් බලන් හිටියත් ඌ ආයේ ආවේ නෑ... මොහොතකට මම සතුටක් වින්දා...ලොකු ගාණක් වියදම් උනේ හෝ ලොකු ප්ලෑන් එකක් ගහන්න ඕන වුණේ නෑ...විමසිල්ලෙන් බලන් ඉන්න විතරයි තිබුනේ...
.
අපේ ජීවිත ඒ වගේ..විඳින්න දේවල් අපේ අවට අනන්තවත් තියෙනව..එහෙම තියෙද්දිත් අපි ජීවිතේ ඈත තියෙන ඒව දිහා බලාගෙන හූල්ලනව..
ඇයි..?
මිනිස්සුන්ගෙ පුදුමාකාර ගතියක් තියෙනව ඒකයි ඒ..
මොකක්ද ඒ ගතිය...? ඒ තමයි නොලැබෙන හෝ නොලැබුණ ඒව අපිම හයිලයිට් කරගන්නව...ඒ දේවල් තමයි ජීවිතේ තීරණය කරන්නෙ කියල හිතාගෙන ඉන්නව..ජීවිතේ අපිට මිස් වුණ අවස්ථා හෝ දේවල් ලැබුණානම් කියල අපි වොරි වෙනව..හරියට කඩල අහුර අතට ගත්තු වඳුර වගේ..බිම වැටිච්ච එක ඇටයක් වෙනුවෙන් අපි අතේ තියෙන අහුරම පැත්තකට දාලා වද වෙවී ඒකම හොයනව..ඒ මත්තෙම මැරෙනව..ඒ වෙනුවෙන් ජීවිත කාලෙම වැය කරන්න වුණත් ලෑස්තියි හැබැයි ඇහේ වදින ටොකු ඇනල වට පිටාවෙන් අපිට දෙන සරල දේවල් ගැන අපිටම තැකීමක් නෑ...වදවීමක් නෑ...
හිනාවෙන්න හේතු දාහක් ඇස් ඉස්සරහ තියෙද්දි අපි කඳුලුම මාකට් කරනව...ඇයි, ඒකේ සංවේදී ගතියක් පෙන්නන නිසා වෙන්න ඕනේ..නැත්තන් දුක් වීම හිනා වෙනවට වඩා ඇඟට දැනෙන නිසා වෙන්න ඕනේ...
.
.
ජීවිතේ හරිම සරලයි...උපදින්න වගේ මැරෙන්න වගේ අමාරුවෙන් කරන්න ඕනේ දෙයක් නෙමෙයි...ඒත් අපි විසින්ම ඒක සංකීරිණ අපහසු දෙයක් බවට පත් කරගන්නව...
වට පිටාව දිහා ඇස් ඇරැල බලන්න., මම කියන මේ කූඩුවෙන් එලියට පනින්න තරම් හයියක් හෝ වුවමණාවක් අපිට නෑ..
.
ඒකෙන් එළියට පනින්න පුලුවන් මිනිස්සු ලෝකේ ලස්සනට දකිනව...එහෙම නොදකින මිනිස්සුන්ට අනුකම්පා කරනව...ඔව් ගමේ බාසාවෙන් කියනවනම් "අපි පව්"...
.
අපි අපිවම පහල ඇදල දාන ගමන් වටපිටාවට දොස් කියනව...
ඇයි මටම..? හැම තිස්සෙම අහන ප්‍රශ්නෙ වෙනස් කරමු...
මට මේ ඇති, කියන තැනට එමු.....
.
.
ජීවිතේ සරලයි, මැරෙනවට උපදිනවට වඩා ඒ දෙක මැද්දෙ ජීවත් වීම හුඟාක් ලේසියි...බලෙන් ජීවිත සංකීර්ණ කර නොගන්නවා
නම්...
.
.
.
.
නෝටී

Saturday, November 26, 2016

" පුංචි මහත්තය කෑවද "

මිනිස්සු ගෞරවය බලාපොරොත්තුවෙන්නෙ ඇයි කියන එක මට දැනුම් තේරුම් තිබුණ කාලේ ඉදන්ම ලොකු ප්‍රශ්නයක් වුණ දෙයක්...තව කෙනෙක් තමන්ට සර් කියන්න,යටහත් පහත් වෙන්න, වැඳුම් පිදුම් කරන්න ඕනේ කියන මනසිකත්වය එන්නෙ මොන වගේ දෙයක් නිසාද කියන එක මට ටිකක් ප්‍රශ්නයක්...
මම විස්වාස කරන්නේ ගෞරවය තමන්ට අවශ්‍ය නම් උපයා ගැනීමේ ( ප්‍රශ්ස්ථව ) වැරැද්දක් මම දකින්නෙ නෑ....එහෙම නැතුව ගෞරවය බලහත්කාරයෙන් ලබා ගැනීම සමස්ත ප්‍රජාවටම කරන සදාචාරාත්මක වැරැද්දක් විදිහට මම දකිනව...
ගෞරවය බලාපොරොත්තු වන්නා වගේම ගෞරවය ලබාදෙන්නත් අතරෙත් විවිධ ප්‍රභේද තියෙනව...ඒ ප්‍රභේද අස්සෙ ඉන්නව යටටම වෙලා තැලුන පොඩි වුණ කොටසක්..එයාල හිතනව තමන් ජීවත් වෙන්නෙ අනුන්ට යටහත් පහත්ව ජීවිතය ගෙවන්න කියල...
කුල ක්‍රම සමාජයෙන් ඉවත්වෙලා ඩිජිටලීකරණය වගේ සංකල්ප වලට ඔලුව දමමින් ඉන්න කාලයක වුණත් අපේ අවට මේ දේවල් හිඟ නෑ...
මගෙ පලවෙනි රැකියා ස්ථානයෙදි මට හම්බ වුණා එහෙම කෙනෙක්...උද්‍යාන කටයුතුවලට යොමු කරල තිබුණ ඒ මනුස්සය කියන ඕනෙම වැඩක් නෑ බෑ නොකිය කරල දැම්ම කෙනෙක්..ඒ වගේම තමන්ගෙ ජීවන තත්ත්වය ගැන අනිත් හැමෝගෙම උසුලු විසුලු වලට ලක්වුණ කෙනෙක්...කවුරු මොනව කිව්ව්වත් හිනාවෙලා ආයේ විහිලුවක් කරන පුරුද්දක් ඒ මනුස්සය ගාව තිබුණ...
.
හැමදාම මාව දැක්කම ආ පුංචි මහත්තයා කියල මිනිහා කියන්නෙ ඇයි කියල මට තේරුණා..දෙතුන් පාරක් මම කිව්වත් මම ටයි එක දාගෙන හිටියට විධායක ශ්‍රේණියෙ නෙමෙයි කියල මිනිහ නෙමෙයි තෙරුම් ගන්නෙ....අන්තිමේදී මම ඒකට හුරු වුණා..පුංචි මහත්තය කියන්නෙ මට තියෙන ආදරේටද, නැත්තන් මගෙ ටයි පොල්ලට ගෞරව කරන්න ඕනේ කියන හැඟීමටද කියන එක ඒ මනුස්සයවත් දන්නවද කියන එක මට සැකයි...
.
සමාජයෙන් එන පීඩනය එක්ක තමන්ට ඉහලින් ඉන්න ඕනෙම මිනිහෙක්ට යටහත් පහත්ව සලකන්න ඕනේ කියන අනිච්චානුග හැඟීම ඒ වගේ ම්නිස්සුන්ව වෙලාගෙන ඉවරයි..ඒක හරියට ඇබ්බැහියක් වගේ.. අයින් කරන්නම බැරි තරමට ඇබ්බැහිවුණ...
.
ඒ අයව එතනින් එලියට ගන්න එක එහෙම නැත්තනම් ඒ මානසිකත්වයෙන් මුදවන එක ලේසියෙන් ඉක්මනින් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි..ඒක හරියට අඩි ගාණක් ගැඹුරෙ ගිලිල ඉන්න මිනිහෙක්ව එක පාර උඩට අදිනව වගේ වේවී..ඒකෙන් ඒ මනුස්සය පීඩන වෙනසට ඔරොත්තු නොදී මැරිල යන්න පුලුවන්..අපි එක්කො හෙමීට පියවරෙන් පියවර ගන්න ඕනේ..නැත්තන් එතනම ඉන්න තියල ඔක්සිජන් දෙන්න ඕනේ...
.
උඩට ගන්න තරම් වැය කරන්න කාලයක් මට නැත්තන් මම කරන්නෙ ඒ මිනිස්සුන්ට අවශ්‍ය ඔක්සිජන් දෙන එක...කතා බහ කරල පවුලෙ විතර ජීවීතෙ ගැන විස්තර අහල ඉහිල් වෙන්න අවස්තාවක් හදල දෙන එක...ඒක ඒ මිනිස්සුන්ට මහමෙරක් වගේ, අපිට ඕන්නම් විනාඩියක් දෙකක් යයි....
.
මෙ හතර වටේම ඉන්නෙ අපි වගේම අහඹුවකින් ලෝකෙට ඉපදිච්ච අපේම වර්ගයේ උන්...ශිෂ්ටත්වයේ හැව නිසා අපි අපේම වර්ගයා එක්ක තරගයක වැටිලා.... ලගාකරගන්න පුලුවන් කියල හිතන හෝ හිතෙන නමුත් රියැලියෙදි බැරි අසීමිත සතුටක් හොයනව...
.
විස්වාස කරන්න ඒක පවතින යමක් නෙමෙයි...සතුට තියෙන්නෙ මේ මොහොත ඇතුලෙ..ඒක හොදින් වියදම් කරොත් ගෞරව වගේම සතුටත් ඉබේම එනව...
.
.
" පුංචි මහත්තය කෑවද " ඒ වචන මට මතක් කරන්නෙම ඒක....
.
.
.
.
නෝටී..

Friday, November 25, 2016

අහසයි යාලුවොයි විස්වාස කරන්නෙපා

පවුලක් කිව්වම අපේ ඔලුවට එන්නෙ මොකක්ද...? අම්ම තාත්තා ඇතුලු පිරිසක් ඉන්න මිනිස් සමූහයක් නේද..? පවුලක් කියන්නෙ එහෙම එකක්ද..?
මම නෑ කිව්වොත් පිළිගන්නවද..? බලමු මම ඒත්තු ගන්වන්නම්...
.
අම්ම තාත්ත ඇතුලි ඒ පිරිසට එහෙම නැත්නම් ජානගතව බැඳුනු ඒ පිරිසට අපි කියන්නෙ ජීව විද්‍යාත්මක පවුලක් කියල...ඒ හැරෙන්න අපි එදිනෙදා ජීවිතයේ පවුලෙ අය වගේම ඒ කිවේ ජානගතව බැඳුන අය වගේම හෝ ඊටත් එහා ගිය තරම් බැඳිච්ච මිනිස්සු ඉන්නව..සමහර වෙලාවට පවුලෙ අයටත් වඩා සමීප හිතවත් අය...සමහර වෙලාවට පිටිපස්සෙන් ඉදන් පිහියෙන් අනින අය වෙන්නත් පුලුවන්...බොහොම කලාතුරකින් ලැබෙන තාලේ අමිහිරි අත්දැකීමක් ලැබීම නිසාම මේ සටහන කොටන්න හිතුවා..මතකයට ගන්න පවා අකමැති මූලාශ්‍රයක් වුණත් මේක සයිබරයේ කෙටෙන්නම ඕනේ කියල හිතුනා...ඒක නිසාම අමිහිරි පැතිකඩ වෙනුවට මම එක මිහිරි මතකයක් තෝරගන්නම්...
.
ආසන්න වශයෙන් මීට අවුරුදු දෙකකට විතර උඩදි මම එච්චරම ඇදුනුම් කමක් නොතිබුණ ගෙදරකට ගොඩ වදින්නෙ අහම්බෙන් වගේ යාලුවෙක් මාර්ගයෙන්...ගෙදර ගෘහ මූලිකය මගේ ආයතනයේම සේවකයෙක් වුණාට මම කලින් නොගිය තැනක්...ඒ වෙලාවෙ අදාල පුද්ගලයා මගෙන් ඉල්ලීමක් කලා තමන්ගෙ පුතා උසස්පෙළින් පස්සෙ ගෙදර ඉන්න නිසා ඒ ආයතනයේම රැකියාවකට ඇතුල් කරන්න පුලුවන්ද බලන්න කියල...
මම ඊට පහුවෙනිදම කලමාණාකාරතුමා හරහා ඒ මල්ලිව සම්මුක පරීක්ෂණයකට යොමුකලා... සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණ ළමය මගේම දෙපාර්ථ්මේන්තුවේ තමයි වැඩ කරේ..අදාල දෙපාර්ථ්මේන්තුවේ හැමදේම මුල ඉදල පැහැදිලිව කියා දුන්න...කොල්ලත් ඉක්මනට අල්ලගත්ත වගේම අපි ඉක්මනටම හොද යාලුවො වුණා..හේතුව දෙන්නම එක වගේ ලගින් යන මෝල් ගති  ලක්ෂණ දැරීම වෙන්න ඇති...
කාලෙත් එක්ක මිනිහ අවස්ථා හොයාගෙන ගියා. ඒවගෙම අවස්ථා හම්බ වුණා.. හෝටලයක සහය කලමණාකාරවරයෙක් විදිහටත් එතනින් ඉස්සරහටත් ගියා...
ඒත් වෙනසක් නෑ..අදටත් උගන්නපු තැන මතකයි..ඒ මිනිහව මතකයි..ඒ ගෞරවය, මිත්‍රකම ඇතුලාන්තෙන්ම තියෙනව...එක දවසක් මට හරි ලස්සන කතාවක් කිව්ව.. "ජනිය මම ගෙදර ඉදිද්දි මාව ජොබ් එකට දාලා උඩට යන්න ඉඩක් හැදුවෙ උබ...කවද හරි උබ වැටුනොත් මම උබවත් ඒ විදිහටම ඇදල ගන්නව මචං " කිව්ව..ආයෙ ඒ කතාවෙ හෝදන්න දෙයක් නෑ...ඌ කරනව...
.
ඒ වගේ බොහෝම කලාතුරකින් මුණ ගැහෙන සොදුරු මිනිස්සු කිහිප දෙනෙක් අස්සෙ ඉදල හිටල දිය රෙද්දෙන් වුණැත් බෙල්ල කපන්න පුලුවන් විදිහේ ලාමක පොරවල් ඉන්නව...එහෙම මිනිහෙක් මට හම්බ වුනාම මට හැමදාම මතක් වෙන්නෙ තාත්ත කියන කතාව..
.
" ජනිත්, අහසයි යාලුවොයි විස්වාස කරන්නෙපා "...
.
තාත්තගෙ කතාවකින්ම මම මේ වියමන ඉවර කරන්නම්....
.
"මුලු ලෝකෙටම කොන්දේසි විරහිතව ආදරේ කරන්න පුලුවන් මිනිස්සු හරි ටිකයි ඉන්නෙ...අන්න ඒ වගේ උන් ආස්සරේ කරපං..."
.
.
.
.
.
නෝටී.......


Thursday, November 24, 2016

ඉගෙනීම කියන්නෙ

මිනිස්සු ජීවිත කාලෙම ඉගෙන ගන්නව කියල මට මුලින්ම කියල දුන්නෙ තාත්ත..ඒ වෙනකොට මම දැනන් හිටපු එකම ඉගෙනීම ස්කෝලෙට ගිහින් පැය ගාණක් අහන් ඉදල ගන්න දැනුම......
පොඩිම දවස්වල මට සෙල්ලම් බඩු ගෝනිගනන් තිබුණෙ නෑ..කොටින්ම එකක් දෙකක්වත් නොතිබුණ කාලයක් තිබුණා..ඒත් ඒක ලොකු ගැටලුවක් නොවුණෙ මට ඕනේ කරන විදිහේ සෙල්ලම් බඩු කඩේ නැති බව මම දැනන් හිටපු නිසා ඒවා මමම මට ඕනේ විදිහට හදාගත්තු නිසා...ගිනිපෙට්ටි වලින් ඩබල් කැබ් එකක් හදාගන්න, වැලි ගොඩේ තියෙන පාට දෙක් තුනක තිරුවානා කැටවලින් හමුදාවල් වගේම ඒවයේ අණ දෙන අයව හදාගන්න මට ගියේ විනාඩි ගාණයි...හිස් ෆිලමන්ට් බල්බ් පෙට්ටි කීපයක් බිල්ඩින්වලට අරගත්තම ඒව මට පෙනුනේ කොලඹ වෙළද මධ්‍යස්ථානේ නිවුන් බිල්ඩින් වගේමයි...යුද්ධේ ඉවර වෙලා සමහර වෙලාවට ඒවා ගිණි ගත්තේ යුද්ධෙ අතුරු ඵල විදිහට....ඒ දේවල් මගේ බුද්ධිමට්ටම තීරණය කරන්න බලපාන්න ඇති කියල මම දැනගන්නේ තරමක් වයස ආවහමයි..ඇඟිලි ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩිපුර කිරීම මඟින් පොඩි ළමයින්ගේ මොලයේ වර්ධනය වේගවත් වෙනවලු....
.
එතනින් එහාට පොතේ තියරියෙන් විතරක් දෙයක් කරන්න බෑ කියල මම තේරුම් ගත්තෙ ජොබ් එකට ආවහම...මට මතක් වුණේ ආයෙත් තාත්ත නිතරම කියන කතාව...
.
" පුතේ අධ්‍යාපනය කියන්නේ භාවිතාව.."
.
ඔව් ඒක ඇත්ත...අපි පොතෙන් පතෙන් එකතු කරගන්නෙ දැනුමක් විතරයි..ඒක අධ්‍යාපනය වෙන්න නම් අත්දැකීම් එකතු වෙන්න ඕනේ...
1 වසරෙ ඉදන්ම කොල එකතු කරල ස්ටෙප්ලර් කරල තිබුණත් ඒක වඩාත් කාර්‍යක්ෂම වෙන්නෙ අංශක 45ක කෝණෙකට ගැහුමවයි කියල මම ඉගෙන ගත්තෙ අවුරුදු 25දි මගේ කලමණාකාරවරිය කියාදුන්නම...ඒක මගේ කිසිම පොතක තිබුණෙ නෑ...
අමුත්තෙකුට තමන්ගෙ ණය පතෙන් හෝ සල්ලි වලින් යන දෙකෙන් ගෙවීමේ පහසුකම් තිබිය යුතුයි කියල මම පොතෙන් ඉගෙන ගත්තට දෙකෙන්ම කොටස කොට්ස ගෙවන්න ආවොත් මොකද කරන්නෙ කියල මම් ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්.....
අමුත්තෙක්ගෙ ප්‍රශ්නයක් විසඳන්න පියවර පහක් තියෙනව කියල පොතෙන් ඉගෙන ගත්තට ඒ 5 එක එක ජාතීන්ගෙන් ජාතීන්ට වෙනස් කරන්න ඕනේ කියල මම ඉගෙන ගත්තෙ අත්දැකීම් වලින්...
.
ඔව් වඩාත් නිවැරදිව කිව්වොත් අත්දැකීම් නැත්නම් මට පැවැත්මක් නැතිවෙන්න තිබුණා..
.
ඉගෙනීම කියන්නෙ සරලවම භාවිතාව...
.
හොදම ගුරුවරය මට කියා දුන්න ඒ වචන අද මට අදහන්න පුලුවන් තරමෙ දෙයක්...
.
.
.
.
නෝටී

අපි සත්තු, සත්තු විදිහට ජීවත් වෙනව මිසක් රොබෝල වෙන්න තවම බෑ...

හැම මිනිහෙක්ගෙම ජීවිත වල බේසික් අවධීන් තියෙනව..හරියට ඉගෙනීම, රැකියාවට පිවිසීම, විවාහය වගේ කීපයක් සමස්ථයටම පොදු ඒවා...ඉගෙනීම සහ රැකියාව සමාජ විද්‍යාත්මක සංඝටක වෙද්දි විවාහය ටිකක් කම්පිලිකේටඩ් කතාවක් වෙනව..ඇයි..? විවාහය ජීවවිද්‍යාත්මකද..? නැත්තන් සමාජවිද්‍යාත්මකද එහෙමත් නැත්තන් මේ දෙකටම නැති එකක්ද..?
ජීවීන් දෙදෙනෙක් එක්වීමෙන් සරු ජනිතයෙක් බිහි කිරීම කියන ප්‍රාථමික කාරණය ශිෂ්ඨාචාරගත වීමේදී විවිධ ඇඹරීම් වලට ලක් වෙලා අද තියෙන විවාහය කියන ක්‍රම කීපය ලෝකයට ලැබිල තියෙනව.......
අද වෙන කොට වර්ගයා බිහි කිරිම සහ ඒ සදහා සහකාරියක් /  සහකරුවෙක් සොයාගැනීම මේ අපි ඉන්න සමාජයේදි සම්පූර්ණයෙන්ම වාගේ සමාජවිද්‍යාත්මකයි...සමාජයේ තියෙන සංකල්ප හෝ ආකල්ප වලට යටහත්ව ඉතාම කැමැත්තෙන් ඒවට කොටුවෙලා තමන්ගේ සහකාරිය හෝ සහකරු ගලපා ගැනීමක් තමයි වෙන්නෙ... ඒ ගලපා ගැනීමට පස්සෙ හරියටම විවාහය කියන නෛතික කතන්දරයෙ පිටු සහ සමජයේ ඉල්ලීම් සඵල කරාට පස්සෙ උදාවෙන රාත්‍රියේ පටන් විවාහයට එකතුවෙනව අලුත් විද්‍යාවක්, ඒ ජීවවිද්‍යාත්මක පැතිකඩ..මෙතන කිසිම රාමුවක්, කොටුකිරීමක් නැති සම්පූර්ණ ප්‍රාථමික කතාවක් දිග හැරෙන්නෙ... හෝමෝන, පෙරමෝන එක්ක කෙරෙන සම්පූර්ණ නිරුවත් ගනුදෙනුවක්...කලින් කියපු සමාජවිද්‍යාත්මක හෝ නෛතික කතන්දර වලින් වට කරල අන්දපු මිනිස්සු තමන්ගේ ඒ හැව ගලවල දාන්නෙ මෙතනදි...වර්ගයා බෝ කිරීම ජීවවිද්‍යාත්මකයි කියන කාරණය අමතක කිරීම සදහා විශාල දායකත්වයක් සපයන අපේම සංස්කෘතික රාමු මේ වගේ තත්ත්වයකදි අපිම කඩාගෙන එලියට පැනීම ස්වභාවධර්මය කරන හරි අපූරූ විහිලුවක් වගේ කියලත් හිතෙනව....
.
.
බිලියන ගාණක ජීවීන් අස්සෙ අපිත් ඒ කොටසටම අයිති එක කෑල්ලක් කියන එක අමතක කරල අපේම උන්ගෙන ගැලවිලා උඩට යන්න දැගලුවට ඒක ලේසි දෙයක් නම් නෙමෙයි...තව අවුරුදු ගාණකට අයින් කරගන්න බැරි තරම් ප්‍රාථමික ජීවී සහජාස වගේම ජෛවවිද්‍යාත්මක ක්‍රමවේද අපි ළඟ තාමත් තියෙනව...
හුඟක් ඔස්තාර්ලා තේරුම් නොගන්න මේ සරල යථාර්තය සමාජයේ හැම සම්බන්ධතාවයකටම වගේ බලපානව කියල මට හිතෙනව...
.
අපි තාමත් බිලියන ගාණක් වුණ ජීවී විශෙෂ අස්සෙ ඉන්න එක විශේෂයක් මිසක් වෙන විසේසයක් නෑ....
.
.
අපි සත්තු, 
සත්තු විදිහට ජීවත් වෙනව මිසක් රොබෝල වෙන්න තවම බෑ....
.
.
.
.
.
නෝටී

අරක්කු වැරදි කරන්නෑ, අපි කෙරුවොත් මිසක්...

අද එච්චර කාර්‍යබහුල නොවුණු සරල දවසක්...රෑ 9 වගේ වෙනකම්ම කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ...සේරම අමුත්තෝ කාල ඉවරවුණහම මම කෑම කන්න වාඩි වුණා...කෑම එක ඉවර කලා විතරයි පොඩි සද්දයක් එනව ගේට්ටුව පැත්තෙන්...ඩෙසර්ට් එක පැත්තකින් තියල ගියා බලන්න...බීපු මනුස්සයෙක්...අයියේ කිය කිය ගේට්ටුවෙන් ඇතුලට එන්න හදනව...සිකියුරිටි ගේට්ටුව වහල දැම්මම මිනිහා සේවකයනට පිට වෙන්න තියෙන පොඩි ගේට්ටුවෙන් එල්ලිල කෑගහන්න ගත්ත...කොච්චර කිව්වත් අඩු නොවෙන පාර මම වසමට අදාල පොලීසියට කතා කරල කිව්ව...පැය බාගයක් විතර ගියත් ජංගම පොලිස් පරීක්ෂාව ආවේ නෑ..ඒ පාර ආයේ කතාකරන්න හැදුවත් අංකය කාර්‍යය බහුලයි..ඒ ගමන 119 ට උත්සාහ කරා..වාර 4කින් 5කින් පස්සෙ යන්තන් සම්බන්ධ වුණා...ඊලඟට එයාලා පණිවිඩයක් දෙන්නම් කියලත් වෙලාව ගියා මිසක් එන පාටක් නෑ...අන්තිමට මගෙ ලඟ තිබුණු අපරාධ විමර්ෂණ භාර ස්ථානාධිපතිවරයගෙ ජංගම දුරකතන අංකයට කතා කරන්න සිද්ධ වුණා...එතුමා නිවාඩු ගිහින් හිටියත් විනාඩි ගණනකින් කෙනෙක් එවන්න තරම් කාරුණික වුණා...ආවහම පොලීසියටත් දුක හිතෙන්නැති මිනිහ ඉන්න විදිහට...
හැබැයි පොලිසියෙ දෙන්න මිනිහගෙ නම ගම අහපු ගමන් අදුරගත්ත....පස්සෙ මට කතාව කිව්වෙ.. ඒමනුස්සයට තමන්ගෙ ගෑනිව සැකයිලු..ඒ නිසා හැමදාම ගෑනිට ගහනවලු බීගෙන ඇවිත්...ඒකට පොලීසියෙ ලියවෙච්ච පැමිණිල්ල විසදන්න පොලිසියෙන් ගිහින් ඉදිද්දි තමයි අපි කතා කරල මේ පැමිණිල්ල දාල තියෙන්නෙ...අද ගෑනි මිනිහට දීලා ඇහැට උඩින් තුවාල වෙන්නම...ඒකට හොද වැඩේ කියන්න තරම් නරුමයෙක් වෙන්න මට බැරි වුණත් මිනිස්සු තම්න්ගෙ සීමාවල් නොදැනීමේ ප්‍රතිවිපාකය නම් මගෙ ඇස් පනාපිටම ටිබුණා....
.
.
කසාදය හරිම සියුම් දෙයක්...මිනිස්සු තමන් කසාද බඳින කෙනාව තෝරගන්නෙ කොයි තරම් පටු විදිහටද කියල පේන්නෙ කසාදෙන් ටික දවසක් යන්න කලින්ම එන මේ වගේ ඝට්ඨන වගේම පිරිමියා හෝ ගැහැනිය පිට පාරේ ගිහින් සතුට හොයන අනන්තවත් අවස්ථා දැක්කමයි...
බීම කලාවක් මිස ප්‍රශ්න විසඳීමේ යාන්ත්‍රණය නොවෙන බව මිනිස්සු ඉගෙන ගන්නකන් මේ වගේ කරදර සමාජයේ තියේවි..
.
එක අතකට බැලුවම බේබදුකම කියන්නෙ මත්පැන් වල අවුලක් නෙමෙයි...
ඒක මිනිස්සුන්ගෙ අවුලක්...
.
අන්තිමේදී පොලිසියෙ මහත්තුරු දෙන්න අර මනුස්සයව බයික් එකේ මැද තියාගෙන ගෙදරට ගිහින් දන්න ගෙනිච්චෙ මට මෙහෙම කියාගෙන...
" මේ මිනිහට ගහල වැඩක් නෑ මහත්තයෝ, මොනව වුණත් මිනිහෙක්නෙ" කියාගෙන......
.
.
බීපල්ල ක්‍රමේකට..දෙපැත්තෙ ඉන්න උන් දෙන්නටවත් කරදරයක් නොවෙන්න..මොකද අරක්කු වැරදි කරන්නෑ, අපි කෙරුවොත් මිසක්...
.
.
.
.
.
නෝටී....

Wednesday, November 23, 2016

" මුගෙ අම්මට... "

රස්සාවෙන් අස්වෙලා නිදහසේ ගෙදර ඉන්න දවසක උදේම යොදාගත්තු වැඩක් තිබුණා...උදේම නැගිටල නාලා කරල ඇඳුමක් එහෙම දාගෙන පාරට බැස්ස...වීල් එකේ එන්ජින් ට්‍රබල් එකක් නිසා පයින්ම හංදියට අදින්න හිතාගෙන පාර දිගෙ යනව...කලින් දවසේ ටිකක් වැස්ස තිබුණ නිසා පාරේ වතුර වලවල්..සෙරෙප්පු දෙකෙන් උඩට වතුර වීසී වෙන එක නවත්වන්න සෑහෙම ගේමක් දෙන්න ඕනේ...අමුතුම ගමනක් තමයි එන්නෙ එහෙම යද්දි...හරියට බොරු කකුල් කාරයෙක් ඇවිදිනව වගේ...
ටික දුරක් ඔහොම යනකොට වතුර වලක් ලඟදි අමරුවෙන් පාරෙ අයිනෙන් යන්න වුණා...
එකපාරටම කොහෙද ඉදල ආපු පුට් බයිසිකල් ටිකක් මඩ වල උඩින් ගියේ විදුලි වේගෙන්...වෙන මුකුත් නෑ, කෙලින්ම කටට ආවේ එකම වචනෙ " මුගෙ අම්මට... "
.
වතුර මට වැදුනෙ නෑ, ඒත් කේන්ති ගියා තත්ත්පරේට...ඊළ්ඟ තත්ත්පරේදී මට මගේම ඒ වයස මතක් වුණා..
.
ඕලෙවල් කාලේ..පුදුම බයිසිකල් උණක් තිබුණෙ..බයික් එකට නොදෙන වදයක් නෑ...ස්පෝක් වලට බීම බට ගහලා, අමුතු අමුතු හෝන් ගහගෙන වැඩ කෑලි ගොඩයි...අපි තුන්දෙනෙක් හිටියා ඒ කාලේ බයිසිකල් ගෲප් එකට...මොබයිල් ෆෝන් නොතිබුණ නිසා එකෙක් අනිකට මැසේජ් එක දෙන්නෙ මිස් කෝල් වලින්...ලඟ ලඟ ගහන මිස් කෝල් ගාණෙන් කියවෙනව ඌ එනවද නැද්ද කියන එක....
උන් දෙන්න ගාව තිබුණා කැසට් පටි දාන්න පුලුවන් වෝක්මන් දෙකක්...ඒ දෙකත් අරන් තමයි එන්නෙ...අයි පොඩ් නොතිබිච්ච ඒ කාලේ වෝක්මන් එක මාර වටිනව..ඕකත් ඉනේ ගහගෙන සින්දුත් දාගෙන කඟ වේන්නු වගේ යන එක තමයි අපේ හවස් වරුවෙ ජොබ් එක...අනන්තවත් මිනිස්සු බනිනවා ඇති.. කවුද ගනන් ගන්නේ. අපිට ඇහෙන එකක්යැයි...
.
ආයෙත් මම වර්තමානෙට ආවා...ඔව් උන්ගෙ වැරැද්දක් නෑ...උන් ඉන්නෙ ඒ වයසේ...මම හිටිය වගේම...මටම පොඩි හිනාවක් ගියා...
.
" සොරි මචන්" මම හිතෙන් උන්ට කිව්ව...
.
.
.
.
.
නෝටී

Tuesday, November 22, 2016

මගේ නොවන මගේම මතක....

අපි හැමෝටම මතක තියෙනව, සමහර ඒවා ටික කාලෙකින් අමතක වෙන... තවත් සමහරක් ජීවිත කාලයටම අමතක කරන බැරි...ඒවත් එක එක විදිහට වර්ග කරන්න පුලුවන් විදිහෙ...හුඟක් වෙලාවට අපිට තියෙන්නෙ අපේ සමීපතමයන්ගෙ මතක, එහෙමත් නැත්තන් අපි ආදරේ කරපු මිනිස්සු එක්ක තියෙන මතක..එක්කෝ විරසක වීම් එහෙමත් නැත්නම් එක්වීම්...අපි බහුතරයක්ගේ කතාව ඕකයි...ඒකට හේතුව අපි වැඩිපුර සංවේදී වෙන්නෙ අපේ දේවල් වෙනුවෙන් නිසා...කලාතුරකින් තමයි අපිට අපේ කියන දම්වැලෙන් ගැට නොගැහුණු මතක තදින් කාවදින්නෙ....
ඔව්, මටත් තියෙනව ඒ වගේ මගේ කියල ගැට නොගහපු නමුත් මගේම වුණ අමතක නොවෙන මතක කීපයක්.. මේ ඒ වගේ කතාවක්..
.
හුඟක් වෙලාවට පානදුර ටවුමෙන් බැහැල නයි පෙනේ ගාවට වෙනකන් වත් ස්කෝලෙ ගියේ කලාතුරකින්, ඒ තමයි ඒ ලෙවල් කාලේ හැටි...එක්කෝ බේරුවලින්ම බැහැල වීරෙගෙ ගෙදරට ගිහින් පාඩම් කරනව කියල මොකක් හරි මගෝඩි වැඩක්, නැත්තන් පානදුර ස්ටේෂමෙන් බැහැල ඊලඟ කෝච්චියෙ ගෙදර එනව..ඒකත් නැත්තන් ටවුමෙන් හැරිල පුංචිලගෙ ගෙදර ගිහින් කට කපල නිදාගන්නව..ඕක තමයි වැඩි පුරම ඒ ලෙවල් වලට කරේ...
.
.
එදා යාලුවො එකෙක්වත් නෑ...මම තනියම...ඒ නිසාම ස්කෝලෙ ගියා ඉතිං..1.30ට බෙල් එක වදිනකන් ඉන්නව කියන එක ඇඟ කහනව වගේ වැඩක්...ඒකත් කුප්ප කතාවක් කියන්න එකෙක් නැතුව...කල්ප දෙක තුනකට පස්සෙ ඔන්න 1.30 වෙලා.ගේට්ටුවෙන් එළියට පැන්නෙ හරියට හතරමහ නිධානෙ හම්බ වුණා වගේ කියල හිතාගෙන...පයින්ම ටවුමට ආවා...නයි පෙනේ ඉස්සරහ හිටගෙන ටිකක් කල්පනා කරා...ගෙදර යන්න පුරුදු වෙච්ච බස් තුනක් තිබුණා..එක්කෝ තංගල්ල චන්දිමාල් එක, නැත්තන් මිද්දෙනිය විජිත, එහෙමත් නැත්තන් ජයතිලක අය්ය ඩ්‍රයිව් කරන දර්ශන එක....ඒව එන්න වෙලා තියෙනවනෙ...ඒ නිසා මෙතන ටිකක් ඉන්නව කියල හිතුවා...
" මහත්තයා" එක පාරට ඇහිච්ච සද්දෙට මම බැලුවේ අපෙ අම්මටත් වඩා ආදරෙන් මට කතා කරේ කවුද කියල...
" මහත්තයා, මල්ලිටයි නංගිටයි බඩගිනියි, කීයක් හරි දෙනවද.. "
මට ඉබේම බැලුනෙ පොඩි උන් දෙන්න දිහා..අවුරුදු 12ක විතර පොඩි කෙල්ලෙක්, තව පොඩීම කෙල්ලෙක්වත් වඩාගෙන,අනිත් පොඩි එකා අතින් අල්ලන්....සාක්කුවට අත ගියේ ඉබේටම..එක රු.20යි තිබුණෙ...ඒක දුන්නොත් බස් එකේ යන්න වෙන්නෑ...දන්න බස් එකක නම් කියල යතෑකි,ඒත් දන්න එකක් නාවොත්...?
" අද අතේ සල්ලි නෑ නංගියො" කියල මම අමාරුවෙන් කිව්ව...
කෙල්ලත් මුකුත් නොකියා ඊඟ මනුස්සය පැත්තට ගියා...
එච්චරයි...මම ආපු බස් එකක ගෙදර අවා..
.
ඊඟ දවසෙත් පුරුදු විදිහටම කෝච්චියෙන් බැහැල ස්කෝලෙ පැත්ත වෙනුවට මම පුංචිලහට යන්න පානදුර බාලිකාව පැත්තට හැරුණා...බාලිකාව ඉස්සරහ ටිකක් පලල කාණුවක් තියෙන්නෙ ඇවිදන් යන ගමන් නිකමට කාණුව ඇතුල බැලුව...
කාණුව හරහට දාපු බැනර් එකක් යට අර පොඩි උන් දෙන්න නිදි..ඒ රූපෙ මට කවදාවත් හිතෙන් අයින් කරන්න බැරි තරමට හිතේ වැදුනා...මට රු.20දීලා කෝච්චියෙ හොරෙන් හරි යන්න තිබුණා...ඒකට තව පැයයි ඉන්න තිබුනේ ටවුමෙ..ඒත් මම එහෙම කරේනෑ කියන එක මට හිතට වද දුන්නා....හිඟා කන හැම කෙනාම කරන්න දෙයක් නැතිකමටම කරනව නෙමෙයි කියල මම ඉගෙන ගත්තේ ශ්‍රීලංකාවේ යාචකයෝ පොත කියෙව්වම..
ඒත් අර පොඩි උන් දෙන්න....?
උන් දෙන්න මොනව දන්නවද... නෙට් එක නැතුව අවුරුදු 18ක මට නිදාගන්න බැරි එකේ ඒ පොඩි උන් දෙන්න කොහොම කාණුවක නිදියනවද..? මේ වගේ ප්‍රශ්න දිගටම හිතට වද දුන්න...
මගෙ රු.20න් ඒ ළමයි සැප ජීවිත ගත කරන්නෑ, ඒත් ඒ වෙලාවෙ නුදුන්න එක වරැද්දක් කියන හැඟීම කවදාවත් මගෙන් අයින් වුණේ නෑ..දැන් අවුරුදු 10ක් වෙනව...සමහරවිට ඒ ලමයි හොද තැනක ඇති..සමහරවිට ජීවත් නොවෙනවත් ඇති...ඒක ලෝකේ ස්වභාවය...
.
උන් තුන්දෙනා ජීවත් වෙලා ඉන්නවනම් කවද හරි මුණ ගැහුවොත් මට උන්ට කියන්න ඕනේ
" මට සමාවෙයන් කියල "
.
එච්චරයි...
.
.
.
.
නෝටී..



නිරුවත් හිතුවිල්ල....

ටිකක් රෑවෙලා හදිස්සියෙ ආපු අරාබි මහත්තයෙක් කාමර අහනව..
"ඔව් අපි ලඟ කාමර තියෙනව"
ඒ මගේ උත්තරේ.. " කීයක් වෙනවද එක රෑකට.."
" අන්තිම මිනිත්තුවේ ආපු එකක් නිසා අපිට ඩොලර් 85 කට දෙන්න පුලුවන් මහත්මයා"
" හරි, ම්ම රාත්‍රී දෙකකට ගන්නම් එක කාමරයක්.."
.
එදා දවස ගෙවිල ගිහින් ඊලඟ දවසෙ උදේ පොඩි පොඩි ලමයි තුන්දෙනෙක් එක්ක මහත්තයයි නෝනයි ලොබ්බිය හරියෙ ඇවිදිනව..ඒ අතරේ මහත්තය පිළිගැනීමේ කවුන්ටරය ගාව තමන්ගෙ බිල පරීක්ෂා කරනව...එතනම පඩි පේලියට එහා පැත්තෙ පොඩි ලමයි තුන්දෙනා හිටියා...ඒ මැද තියෙන තරමක මාලු පොකුණට පොඩි උන් හරි ආසයි..අඩි අටක් විතර ගැඹුරු මේකේ ලොකු මාලු කීප දෙනෙක්ම ඉන්නව...පොඩි අය හරියටම වයස 2,4,6 කාණ්ඩවල..
මේ තුන්දෙනාම පොකුණ වටේ තියෙන ගල් කැට අරන් මාලුන්ට ගහන බව මට කාර්‍යාල කාමරයට පෙනුනා..මම පිළිගැනීමේ කවුන්ටරයට ඇමතුමක් ගත්තේ ඒක එපා කියන්න කියල කියන්න..ඒක ඉවර කරන්න හම්බවුණෙ නෑ පොඩිම දරුව පොකුණට වැටෙනව මම දැක්ක..එක තත්ත්පරේට මට ඔලුවට ආවේ ගැඹුර ගැන..පුලුවන් උපරිම වේගෙන් එතනට දුවන එක සිද්ධ වුණේ ඉබේම වගේ..කිමිදිල හරි පොඩි එකාව ගන්න ඕනේ කියන එක විතරයි ඔලුවට ආවේ...එතනට යන කොටත් පොඩි එකා එක පාරක් යටට ගිහින් මුනින් අතට උඩට ආවා..ඒ එක්කම මම ඇඳුමෙන් අල්ලල උඩට උස්සල ගත්තා.. වතුර පෙවිල නොතිබුණත් පොඩි එකා හොදටම බය වෙලා..ඒ වෙලාවෙ තමයි ළමයගෙ තාත්ත අනිත් පොඩි අයගෙ කෑ ගැහිල්ලට එතනට ආවේ..අම්මත් ටිකක් ඈත ඉදන් එතනට ආවා...තත්ත මුලින්ම කරේ අම්මට අත පුරවල පාරක් ගහපු එක..ගෑනු මනුස්සයත් නිකන් හිටියෙ නෑ, දීලා ඇරියා පාරක්..මම පොඩි එකාව පෙන්නල " මහත්මයා මේ ලමය බය වෙලා " කියල නොකියන්න ලොබිය මැද්දේ ලොකු වලියක් බලාගන්න තිබුණා...
ඒ වෙලාවෙ පොඩි කෙල්ලගෙ ජ'ර්සි එක ගලවල තුවායකින් ඔතල මම තාත්තට බාර දුන්න.. උඩ කාමරය ලගට යනකම්ම ජෝඩුව හුඟක් තදින් බැනගන්නවනම් මට ඇහුණා...
.
ඒ වෙනකොටත් මගෙ පපුව ටිකක් වේගෙන ගැහුන වුණත් පොඩි සන්තෝසයක් හිතේ තිබුණා...මිනීහෙක්ගෙ ජීවිතයක්නෙ බේරුවේ කියල...පොඩි එකා ගිලෙනව දැක්කම මට මතක් වුණෙ ඒ ළමයව බේරගන්න ඕනේ කියන අනිච්ඡානුග සිතුවිල්ල විතරයි...ජාතිය, ආගමට වඩා හැම වෙලාවෙම ඉස්සරහට එන ඒ නිරුවත් මනුස්ස ගතියට මම ආදරෙයි...ඒක හැම මිනිහෙක් ගාවම නිරන්තරයෙන්ම තියෙන්න ඕනේ කියල මම විස්වාස කරනව...
ඒ වගේම තමන්ගෙ දරුවන්ගෙ වගකීම හරිහැටි ගැනීම සහ නියමිත වයස් පරතරයක් එක්ක ලමයි ලෝකෙට බිහිකරන්නත් අඹුසැමියෝ මතක තියාගන්නවනම් හොදයි කියලත් මට හිතුනා..
.
එහෙම බැරිනම් මගේ සයිබරයේ මිත්‍රයෙක් කියනව වගේ ජනන විරෝධියෙක් වෙන එක වඩා හොදයි කියලත් හිතුනා...
.
.
.
නෝටී

Sunday, November 20, 2016

පඩියට එහා ගිය යමක් රස්සාවක් ඇතුලෙ තියෙනව

රස්සාව කරන එකත් හරි ලස්සන වැඩක්..මිනිස්සු හුඟක් වෙලාවට තෝරගන්නෙ සල්ලි හම්බකරන්න රස්සාවක් මිසක් සංතෝසවෙන්න පුලුවන් රස්සාවක් නෙමෙයි...ඒ අතින් මගේ රස්සාවේ තියෙන්නෙ හරි අමුතු අතීතයක්..ඉස්සරෝම මට පුදුම ආසාවක් තිබුණා රහස් පරීක්ෂකයෙක් වෙන්න..චන්දන මෙන්ඩිස්ට පිංසිද්ද වෙන්න 6,7 වසර වෙද්දි ඊට වඩා ලොකු රස්සාවක් මට තිබුණෙ නෑ..අඩුම පොලීසියට හරි යනව කියල හිතා ගත්තා..පොඩි පොඩි සිද්ධි හෝම්ස් වගේ දඟ දාලා විශ්ලේෂණය කරන්න පුදුම අමාරුවක් තිබුණෙ..ඒත් හරිගිය දවසක්නම් මතකයෙ නෑ..ඔහොම කාලෙ යද්දි මටම කියල හරියන යාලුවො දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් වුණෑ...අපි තුන් හතර දෙනාටම තිබුනෙ බස් කෝච්චි පිස්සුවක්...වාහනයක එන්ජිම වැඩ කරන්නෙ කොහොමද, ගියර් මොකට්ද, ඒවා වැටෙන්නෙ කොහොමද වගේ දාහක් ප්‍රශ්න මට තිබුණා...කොහොම හරි ඉගෙන ගත්තා ටික ටික...අන්තර් ජංජාලය නොතිබිච්ච ඒ කාලේ පුස්තකාලෙටයි යාලුවන්ගෙන් ගත්තු දැනුමටයි පිංසිද්ද වෙන්න ඒ දේවල් ඉගෙන ගත්තා..යූ ටියුබ් එකේ 3ඩී වීඩියෝ නැතුවට පොතේ පතේ ත්‍රිමාණ රූප වලින් වීඩියෝ එක මවාගන්න එච්චර අමාරු වුණේ නෑ...
ඕලෙවල් කරන කාලේ වෙනකොට මට ඕනේ උනේ ඔටෝ මොබයිල් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න...පස්සෙ ඒකත් හිතේ තියාගෙනම ඒ ලෙවල් කරා...ඒ කරද්දි හිතුනා එක්කෝ ජීව විද්‍යාවට හරි මානව සම්පත් පැත්තට හරි තමයි ජොබ් එකට යන්නෙ කියල...
.
මානව සම්පත් පැත්තට යන්න හේතුවක් වුනේ මගේ ඒ කාලේ ඉදන් ප්‍රියටහම විනෝදාංශය වෙච්ච මිනිස්සු අධ්‍යයනය කරන්න ඒක පහසුවක් වෙයි කියල හිතුන නිසා..මන් හිතුවේ ඒකට හොදම ජොබ් එක තමයි මානව සම්පත් කලමනා කාරවරයෙක් වෙන එක කියල...ඒ ලෙවල් වලින් පස්සෙ හරිම අහම්බෙකින් මට ඉන්ටර්වීව් එකකට යන්න වුණා පිලිගැනීමේ අංශ නිළධාරියෙක් විදිහට...එදා මාව ඉන්ටවීව් කරපු මහත්මයා මට කිව්වෙ පුතේ ඔයා හොටෙල් ස්කූල් එකකට යන්න. ගිහින් ඉගෙන ගෙන එන්න.එතකොට ඔයාට දුරගමනක් තියේවි කියල...
ඔන්න මම දරාගන්න අමාරු මට්ටමේ ගාණක් ගෙවල පෞද්ගලික හෝටල් පාසලක ඉගෙන ගත්ත... ආහාර පාන අංශයේ පළවෙනිය වෙච්ච මට ඕනේ වුණේ ඒ අංශයෙන් ඉස්සරහට යන්න...
ඒත් ප්‍රින්සිපල් මට කතා කරල එක පාරටම ඇහුවා පුතා කැමතිද ෆ්‍රන්ට් ලයින් වැඩ කරන්න කියල..මට ඒ කතාව විස්වාස කරන්න බැරි වුණා.මොකද ඒ සර්ගෙ සබ්ජෙක්ට් එක..ඒ ලඟින් යන තැනකටවත් කෙනෙක්ව රෙකමන්ඩ් කරන්නෙ සර්ට හොදටම විස්වාසනම් විතරයි..කොහොම හරි මම ඒ ජොබ් එකට ගියා.. ඒ අංශයේ පලවෙනි අවුරුද්දෙන්ම ඉහලට පැන ගන්න හම්බුණා වගේම මිනිස්සු ලොරියක් අදුරගන්නත් එයාලගෙ අත්දැකීම් බෙදාගන්නත් පුලුවන් වුණා....
.
අද මම ඒ අදාල අංශ කලමණාකරුවෙක්..එදා මාව ඉන්ටවීව් කරපු විදිහට මමත් අද කරනව..ඒ විතරක් නෙමෙයි මගෙ එක හීනයක් වෙච්ච මානව සම්පත් පැත්ත..ඔව් ඒකට මීට වඩා හොද රස්සාවක් වෙන කොහෙද...ලෝකෙම ඉන්න හැම ජාතියකම මිනිස්සු එක්ක මුහු වෙන්න මීට වඩා තැනක් නෑ..රස්සාව අහම්බෙන් හම්බවෙලා ජීවිතේම වුණා වගේ...
.
මේ සටහන ලියන්නේ මගේම කාර්‍යාල කාමරයේ ඉදන්, මේ වෙනකොට දවසකට පැය 16 ගානේ දවස් 20ක් එක දිගට වැඩ කරල තියෙනව..ඒත් ඒක ඇඟටවත් හිතටවත් බරක් නෙමෙයි..ඒ රස්සාව මම විඳින නිසා...
පඩියට එහා ගිය යමක් රස්සාවක් ඇතුලෙ තියෙනව, අපි හරියට ඒක හොයාගන්නවනම්..
.
.
.
.
නෝටී

ගුරු ගෝල

ඒ කාලේ යන්තම් වයස 22ක් ඇති..ඒ ලෙවල් දෙවෙනි පාර ලියන්න සූදානම් වෙන ගමන් හිටියේ...පංසලේ තිබුණ හාමුදුරුවෝ විදේශික ආධාරත් එක්ක කරගෙන යන නොමිලේ උගන්වන පංතියක්..6වසරේ ඉදන් 11වසර වෙනකන් ලමයි ඉගෙන ගන්නව...විද්‍යාව උගන්නපු අක්ක එතනින් අයින් වුණ නිසා මට එන්න කිව්ව උගන්නන්න...මුලින්ම බාර වුණේ 9,10 පංති දෙක...ඉගැන්වීම ගැණ මෙලෝ හසරක් නොදන්න නිසාම මුලින් මුලින් මගේ ක්‍රම ලමයින්ට හුඟක් බර වුණාද මන්දා කියල හිතුනා...පස්සෙ පස්සෙ මම ඒකට හුරු වුණා..6 ඉදන් ළමයින්ට ගණන් විද්‍යාව දෙකම උගන්නන්න සිද්ධ වුණේ ඔය අතරේ...පංති තුනක හතරක ලමයි එකපාර බංකු වල වාඩිවෙලා...පාලනය කිරීම ටිකක් අමාරු උණත් ඒකේ අමුතු රහක් තිබුණා...පොඩි උන් නොදන්න දේවල් ආදරෙන් කියල දෙනවනම් කොයිතරම් හොදින් අහන් ඉන්නවද කියන එක මම දැක්ක...කෝටුවට බැරිවුණ හුඟක් දේවල් මට ඔලුව අතගාල කියා දෙන්න පුලුවන් වුණා...
මේ කතාවේ පාදක චරිතය වුණේ එක පොඩි ගෑනු ලමයෙක්..එතකොට 7 වසරෙ හිටපු ඒ ලමය ටිකක් නාහෙට අහන්නෑ..කොයි වෙලෙත් කාගෙන් හරි ගුරුවරයෙක්ගෙන් බැනුම් අහන්න ගුටිකන්න බලාගෙනම හිටිය වගේ...අඩුවෙන්ම බැනුම් ගුටි දීපූ මගේ පංතියට ඒ ලමය හැමදාම වගේ ඇවිත් වාඩි වුණා...හාමුදුරුවො ඒ ලමයව සාක්ෂරතාවය ඉගෙන ගන්න පංතියට යොමු කරෙත් ඒ තරම්ම ඉගෙනීමට දුර්වල තා දක්වපු නිසා වෙන්න ඕනේ...දවසක් මම 7 පන්තියට ගණිතය උගන්නනව..වීජීය සමීකරණ ගැන පාඩමක්...ළමයි හැමෝටම වගේ ටිකක් අමාරුයි වගේ පෙනුන නිසා දෙපාරක්ම කියා දෙන්න වුණා...කියල දීලා මම හදන්න ගනන් වගයකුත් දුන්න...
" ජනිත් අයියේ මේක බලනවද..? "
" මොකක්ද සයුරි..? "
" මම ගණන් ටික හැදුවා.."
මටම පුදුම හිතුනා..කෝකටත් කියල මම පොත අරන් බැලුව..ඔව් ගණන් ටික හරි...එකක් දෙකක පොඩි අඩුපාඩු තිබුණත් එච්චර අවුලක් නෑ...මම තරුවක් දාලා අත්සන් කරා... ඒ මූණේ හරි ලස්සන හිනාවක් මැවුණා...ඔව් ඒ මම ආසම හිනාව..මිනිහෙක්ගෙ ආධ්‍යාරයෙන්ම එන හිනාව...එතනින් එහාට මට ඒ ළමය හම්බ වුණේ ටික දවසයි..මම උසස්පෙළට නතර වුණා..
.
අවුරුද ගාණකට පස්සෙ ගමට කිට්ටුව කණිෂ්ඨ විද්‍යාලයක උත්සවයකට ශබධ උපකරණවගයක් බාන්න යන්න වුණා යාලුවෙක් එක්ක..එතන ඉදිද්දි පොඩි කෙල්ලෙක් දුවගෙන ආවා..ශිෂ්‍ය නායිකාවක්...
" අයිය ජනිත් නේද..? "
"ඔව්.."
"අයියට මාව අදුරගන්න බැරි වුණාට මට පුලුවන් වුණා දැක්කද..? "
" මට සයුරිව අදුරගන්න පුලුවන්.." මම අදුරගත්ත තත්ත්පරේම කිව්ව...
.
.
මට ඉබේම හිනාවක් ගියා..
.
ඔව් නංගියේ උබ ජීවිතේ දිනල...ඇයි දන්නවද..උබට අකුරක් හරි කියා දීපූ මිනිහව මතක තිබුණා...
ඉගෙන ගන්න බෑ කියල පැත්තකට දාපු ඒ කෙල්ල ශිෂ්‍ය නායිකාවක්...මිනිස්සුන්ගෙ අනාගතය තීරණය කරන්න එදිනෙදා හම්බවෙන මිනිස්සු කොච්චරනම් බලපෑමක් කරනවද කියල මට හිතුනා..
.
.
නෝටී


Saturday, November 19, 2016

ඩයරිය.....

පුංචි කාලේ ඉදන්ම ලියන්න ලොකු උණක් තිබුණා..ඒ වගේම කියවන්නත්..පත්තරයක් අතට ගත්තම ඒකේ අන්තිම පිටුවේ අසුවල් මුද්‍රණාලයේ මුද්‍රණය කරවා බෙදා හරින ලදී කියන තැනට වෙනකම්ම කියවන තරමෙ උණක්..පොතක් ගත්තම පැය දෙක තුනක් වුණත් කෝපි කෝප්පයක් දෙකක් එහෙම නැත්තන් තේ කෝප්පයක් දෙකක් හිස් කරන ගමන් එක දිගට කියවන අමුතු පුරුද්දක් තිබුණා...පස්සෙ මේක ලිවීමේ උණකට පෙරලෙන්නෙ ගැටයා කාලේ..උසස්පෙළ ලියන්න පටන් ගනිද්දි අමාරුඑන් අමාරුවෙන් වගේ කුලුදුල් ප්‍රේමයට ලියපු නිදහස් කවි කීපයක් මේසේ කොලේ යට හංගල තිබුණා.. ඒ විතරක් නෙමෙයි කවදාවත් කැමතියි නොකියපු ඒත් හැමදාම මගේ පුල්ස්කැප් පිටු දාසයේ දාහතේ ලියුම් කියපු ඒ කෙල්ලටම ලියපු ලියුම් කීපෙකුත් තිබුණා...එක හුස්මට ලිඅයල කොලේ පැත්තකට දාලා ටිකක නිදහසේ ඉන්න ඕනේ..ඊට පස්සේ ආයේ දෙතුන් පාරක් ඒ ලියමන කියවන්න ඕනේ..වැරදි තියෙනවද බලන්නෙ එහෙම..ගැම්මට ලියපු ලියමනේ වැරදි දාහක් ඒ වෙලාවට අහුවෙනව..අදටත් ඒ පුරුද්ද ගිහින් නෑ...ලියද්දි කියවද්දි වගේම එක හුස්මට වේගෙන් කරන්න ඕනේ..අදහස් එන වේගෙට ලියන්න බැරි වුණාම ඒ අදහස් තත්ත්පරෙන් හිතෙන් ඈතට යනව..එතකොට ඒ ලියමන කොච්චර ලස්සන වුණත් හිතට අල්ලන්නෑ...
.
ඒ ඒ කාලේ...දැන් කඩාදාසියෙ ලියුම් ගන්න කෙල්ලො නෑ..ඒක එහෙමයි කියල ඒ පරම්පරාවට වඩා මේ පරම්පරාව හොදයි කියල කියන්න තරම් කුහකයෙක් වෙන්නත් බෑ.. හැම මිනිහෙක්ටම තමන්ගේම කියල කාලයට සාපේක්ෂ සොඳුරු මතක තියෙනව..කාලයට විතරක් නෙමෙයි, වටපිටාවට, පවුල් පසුබිමටත් සාපේක්ෂව..මටත් තියෙනව..දවස ගානේ මුන ගැහෙන හිතෙන් ගලවන්න බැරි අමුතුම මතක ගෝනියක්...
කාලෙත් එක්ක ඒ මතක පරණ විදිහට ම්නිස්සු අතරට යවන්න බෑ..ඉතිං බොත්තම් කීපයක් ඔබල හදාගන්න පුලුවන් බ්ලොග් එකක කොටන්න හිතුවා.. මොකද අපි හැමෝම පරිණත වෙන්නෙ අත්දැකීම් එක්ක..ඒවා තමන්ගෙම හෝ වෙන කෙනෙක්ගෙන් අතමාරුවට ඉල්ලගත්තුව වෙන්නත් පුලුවන්...මේ ඒ වගේ දෙයක්...මගේ මතක එක්ක තියෙන අත්දැකීම් අතමාරුවට දෙනව.. බෙදාගන්න..
ඇත්තටම දිනපොතට වඩා බ්ලොග් පිටුවක් හොදයි කියල හිතුනා..එච්චරයි..
.
.
.
.
නෝටී