Saturday, December 15, 2018

ලස්සනම මතක තියෙන්නෙ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න යන කාලේ .....

" මචං, ඒකි ඉන්න තැන බලාගන්න යන බස් එකේ නැගල යමුද..? "

ඌ අහන්නේ කළුතර ඉදලම කෙල්ල එන බස් එකේ ඇවිත් අළුත්ගමිනුත් බැස්සට පස්සෙ...වෙලාව 6ට කිට්ටුයි...උදේ ඉඳලම බස් එකටයි ක්ලාස් එකටයි පාරේ කඩේටයි සින්න වෙච්ච දවස එපාම කරපු මහන්සියක් දෙන්නෙ...

ඒ 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟ දවස... ශ්‍රීලංකාවයි ඕස්ට්‍රේලියාවයි ආයෙත් මුහුණට මුහුණ... මගේ කැමහිම එකා තමයි කැපටන්, මහේල....ඒත් මූ ඊට වඩා වටිනවනේ...

" හරි යමන්..."

බස් ස්ටෑන්ඩ් එක ඇතුලෙන් ගිහින් කෙල්ල වාඩි වුණේ කාලවිල බස් එකේ... කාලා වරෙන්කො...මේකි කොහෙන් බහිනවද කියල දෙයියෝ තමයි දන්නේ.. ඕනේ එකක් 20යි කියල ගත්තා ටිකට් කාලවිලටම....

බස් එක පාදගොඩට එද්දි කෙල්ල බැස්සා... ටිකට් අමතක කරල අපිත් බැස්සා... දැන් කෙල්ලට මීටර් 200ක් විතර දුරක් තියාගෙන පස්සෙන් යනවා.. මේ කෙල්ල යනවා යනවා යනවා ඉවරයක් නෑ යනවා...
ඈතින් පෙනුන තුන්මන් හංදියෙන් එක පාරටම කෙල්ල අතුරුදහන් වුණා... මොන තාලෙන් හෙව්වත් ඒ කෙල්ල ගිය ගෙයක් හොයාගන්න අපිට විදිහක් තිබුණා... කිලෝ මීටරයක් විතර පයින් ඇදල සෑහන අමාරුවෙන් හිටපු අපි ආයෙත් ඒ දුරම පාරට ආවා... කලුවරත් වැටීගෙන එද්දි පාදගොඩ ඉදන්ම ගාලු පාරටම අපි පයින් ආවා...

ගෙදර ඇවිත් කකුල් දෙකත් උඩ තියාගෙන අපි මැච් එක බැලුවා...

එදා මැච් එක අපි පරාදයි...
ඒ වගේම ලව් එකත් පරාදයි...

හැබැයි ඒ මතකය සෑහෙන ආතල් එකක් අපිට ඉතුරු කරා.. අදට 11ක් වෙද්දිත් අපි හිනාවෙන්නෙ ඒ මතක එක්ක... ඒ කෙල්ල අදට අයුර්වේද වෛද්‍යවරියක්... එතනින්ම බෙහෙත් ගන්න ගිය මමයි මගේ එකයි දෙන්නම එතනින් එලියට ඇවිත් බඩවල් අල්ලගෙන හිනාවුණේ ඒ පරණ මතක එක්ක...

ජීවිතේ ලස්සනම මතක තියෙන්නෙ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න යන කාලේ.... ඒ තමයි හොඳම මතක... ඒකත් අනිකට කරදරයක් නොවෙන්න කරපු අහිංසක උත්සාහයන් වල... උඹලත් හැමතිස්සෙම තියාගනිල්ල මැරෙන්න ඕනේ මතක වෙනුවට ජීවත් වෙන්න පුලුවන් මතක...

ජීවිතේ කියන්නෙ ඒකටලු... එපා කරපු මතක මත්තේ මැරෙන්න ඕනේ කියන ඇත්තෙන්ම අත්‍යාවශ්‍ය දෙයක් කියල අපි හිතුවට ඒක එහෙම නෙමෙයි... ඒක අපිම දාගත්තු කරදරයක් විතරයි...

ඒ වෙනුවට අපිට තියෙන හිනා වෙන්න පුලුවන් ඒවා එක්ක ඉස්සරහට යමු... ඒක අපිට වගේම අපේම පහල පරම්පරාවලටත් ලොකු උදව්වක්, අත දීමක් වේවී... හොද මතක, හොද සමාජයකට පාර කපාවි....
.
.
.
නෝටී


No comments:

Post a Comment