වවන්නත් උණක් තියෙන්න ඕනේ...
කාලෙකට පස්සෙ පැල දිගට හරහට පැල කරන් යද්දි මතක් වුණා කාලෙකට ඉස්සර උණ සැරටම තිබ්බ කාලේ ගැන...ඒ ලෙවල් ඉවර වෙලා හැම එකාම ටයි දාපු ජොබ් හොයද්දි මමත් තව එකෙකුත් හිටිය ඒකට විරුද්ධ පැත්තෙ...
ඒ කාලේ මට මතක තිබුණා අපිට බයොලොජි කරපු ආචාර්‍යය නිශ්ශංකද සිල්වා (දැන් මහාචාර්‍යය ) සර් කියපු කතාවක්...
එක කොල්ලෙක් හිටියලු බයෝ කරපු..ඒ ලෙවල් වලට උගන්නපු මත්ස්‍ය පාලනය ගැන හිත වැටිච්ච මිනිහ ඒ ගැන තව විස්තර ටිකකුත් හොයාගෙන වත්තෙ ටැංකි ගහල පටං ගත්ත මත්ස්‍ය පාලනය..මේක සුරතල් මසුන් නෙමෙයි ආහාරය සඳහා වවන මිරිදිය මත්ස්‍ය වගාවක්...හොද ගානක් හොයන සාර්ථක වියාපාරයක් විදිහට මිනිහ ඒක කරන් ගියා කියලයි කිව්වෙ...
මේ කතාව හරි තදට මගේ හිතේ තිබුණා..ඒකටම හරියන එකෙක් මොන්ටිසෝරියෙ ඉදන්ම මට හිටපු නිසා වැඩේ ලේසි වුණා...ඉගෙන ග්ත්තු දෙයින් වැඩක් ගන්න ඩිග්‍රි ගහන්නම ඕනේ නෑ කියන තේමා ගීතය එක්ක අපි වවන්න දෙයක් ගැන හිතුවා...
දෙන්නටම කියල පර්චස් දහයක් නොතිබුණා වුණත් තිබුණ උණ නම් බැස්සෙම නෑ...
එක පාරටම තරිඳුවා, නැත්තන් මේ කතාවේ අනිත් චරිතෙ ආරංචියක් ගෙනාවා ලංකාවට ඩ්‍රැගන් ෆෲට් හදුන්වාදුන්නු මේජර් මනෝජ් බුලත්සිංහල වත්තක් කරනව කියල...දෙපාරක් හිතුවේ නෑ..බයික් ගත්ත ගියා..බයික් කිව්වට ෆුට් බයික්...කි.මී 47ක් වගේ දුරක් ගිහින් යාලුවෙක්ගෙ ගෙදරක නැවතිලා එහෙම ඊලඟ දවසේ වතුයාය හොයාගෙන ගියා...
අක්කර 35ක් තනිකර ඩ්‍රැගන් ෆෲට් වගාවක්..ඒ විතරක්ද තව පලතුරු වර්ග ගොඩක්..අපි ගිහින් ආපු අනිත් කට්ටියත් එක්ක වාඩි වුණා...ඩ්‍රැගන් ෆෲට් කෑල්ලක් එහෙම රස බලල කතාව අහන් හිටියා...ඉඳලා අන්තිමට තනියම පොඩ්ඩක් කතාවට අල්ල ගත්තා..අපේ උනන්දුව දැකලද මන්දා මේජර් කැමති වුණා ලක්ෂ 4ක් පැල ආදායමෙන් කපා ගන්න අපිට දෙන්න...ඉඩම සහ පොහොර ගැනත් උපදෙස් දුන්න...
.
අපි ගෙදර ආවා..සඳුන් මල්ලිවත් වැඩේට කතකරගත්තා...දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුවට අල්ලපු වැටෙන් යාලුවෙක්ගේ (චරියගේ ) ඉඩමෙන් අක්කරයක් ඉල්ල ගත්තා..තනිකර දියපර කැලයක්...සතිගාණක් තිස්සේ කැලේ එක්ක ඔට්ටු වුණා...උදේ 7ට බෙන්තරින් පුටාර් එකේ යනව..ආයේ 2ට එනව හවස පන්තියට උගන්නන්න...ඒ ආවම රටහුණු කෑල්ල අල්ලන්න බැරි තරම් ඇඟිලි රිදෙනව..ඒත් හරි සතුටුයි..ඒක වේදනාවකට වඩා සොඳුරු රිදුමක් වගේ....
.
උගන්නන ගමන් ලමයි එකක්ත් කියනව ඒ බෑවුමේ තියෙන දේවල් ගැන....උඩහට වෙන්න තියෙන ගල්කුළු ගැන....කාලේ ගෙවිල අපි අක්කරේම සුද්ද කරල ඉවරයි...කොන්ක්‍රීට් කණු 25ක් ගහන්න ඕනේ...එකකට වියදම 1000ක් 1500ක් වත් විතර...හතර අතේ හෙව්වත් ඒ ගාන හම්බ වුණේ නෑ..බැංකු අපි වගේ යන්තන් අවුරුදු 19ක 20ක කොල්ලො දෙන්නෙක් විස්වාස කරල ණය දුන්නෙ නෑ....අන්තිමට අත් ඇරලා දාන්න වුණා.....හිතේ වෙච්ච මහන්සිය ගැන දුකක් තිබුණෙ නෑ...ඒව මතක...හරි ලස්සන මතක...
.
අදටත් අපිට ඒ හීනේ එහෙමම තියෙනව...ටිකක් වැඩි දියුණු වෙලා...නිකම්ම වවන්න නෙමෙයි..තාක්ෂණය එක්ක පොර බඳන්න...
ටිෂූ කල්චර් ෆාම් එකක් දාන්න...
අක්කර ගාණක වවන්න...
ඒ සීතල විඳින්න අදටත් අපි දෙන්නම ආසයි...
.
ඒක උණක්...හරි ආදරෙන් වැළඳ ගත්තු උණක්...ටයි කෝට්, උපාධි ලෝගු, බෙන්ස් බී එම් නැතුවත් ජීවිතේ විඳින්න පුලුවන් සල්ලි හොයන්න පුලුවන් අවස්ථා වැහි වැහැල තියෙන රටක ඉන්නෙ අපි...ඒකයි මට කවුරු හරි කිව්වම මචං පලයන්කො ඩුබායි, පලයන්කො මාලේ කියල හිනාවක් දාලා ශේප් වෙන්නෙ..මං ආදරේ මේ පොලවට, ඒකෙම ජීවත් වෙලා ඉස්සරහට යන්න පුලුවන් කියල ලොකු විස්වාසයක් අදටත් තියෙනව...
.
ඉස්සරහටත් තියේවී...
.
.
.
.
නෝටී
No comments:
Post a Comment