Monday, December 24, 2018

ඒත් අර පුංචි ජීවිත....?

සුපුරුදු පරිදි මමත් මගේ ඕස්ට්‍රියානු මිත්‍රයාත් රාත්‍රී ආහාරය සමඟ කතා බහක... මේ අතර අපි ක්‍රම ක්‍රමයෙන් වාහන සහ මාර්ග තත්ත්ව ගැන කතා බහකට යොමු වුණා... එතනින් එහාට අපි එය මෝටර් බයික් දක්වා පටු කරගෙන කතා කරගෙන ගියා...

" ජනිත් මෙහෙ මිනිස්සු නිවුස් බලනවද..? පත්තර කියවනවද..? ෆේස් බුක් යනවද..?"

එක පාරටම මගේ මිත්‍රයා අහපු ප්‍රශ්නෙන් මම තුෂ්නිම්භූත වුණා.. මේ මනුස්සයට පිස්සුද..? මට එකපාරටම හිතුනා... අවුරුදු 30කට කිට්ටු කාලයක් මේ රටට ආපු, දශකයක් විතර මේ රටේ ජීවත් වුණ මනුස්සයෙක් අහන ප්‍රශ්නයක්ද මේ..?

" ඔව්, බහුතරයක් ඔය දේවල් වලින් එකක් හෝ කිහිපයක් පාවිච්චි කරනවා.."

මම ඔලුවට ආපු පුදුමය එහෙමම තියාගෙන කිව්ව...

" එතකොට එයාලා මේ බයික් ඇක්සිඩන්ට් දකින්නැද්ද..?"
එයා ආයෙත් ඇහුවා...

" අනිවාර්‍යයෙන් දකිනවනේ..."

මම ආයෙත් කිව්ව...

" එහෙනම් ඇයි එයාලා එක බයික් එකක කීප දෙනෙක් දාගෙන යන්නෙ... මේ අම්මල තාත්තල දරුවන්ට ආදරේ නැද්ද..? එයාල දකින්නැද්ද ටැxකිය උඩ තියාගෙන යන ලමයි ඇක්සිඩන්ට් වලින් මැරෙන හැටි... ?

එයා ටිකක් ආවේගෙන් ඇහුවා...

" මෙහෙමනේ... ඒ මිනිස්සුන්ගෙ ආර්ථික තත්ත්වය එක්ක තමයි මේක වෙන්නෙ... එයාලට කා එකක් ගන්න තරම් සල්ලි නෑනේ... ඒකයි..."

මම පැහැදිලි කරා...

" ඔහ්, කමෝන් ජනිත්.... ආර්ථිකය හරි නෑ කියල ලමයෙක් අවධානමේ දාන්නෙ මොන අම්මද..? මොන තාත්තද..? එයාලට නඩත්තු කරන්න බැරිනම් ඇයි ලමයි හදන්නේ..? "

ඒ ප්‍රශ්නයට නම් මමත් නිරුත්තර වුණා...ජීවිතයක වටිනාකමට වඩා මිනිස්සුන්ට හිතන්න වද වෙන්න ප්‍රශ්න තියෙන රටක් නේද මේක කියල මටත් හිතුනා...

අම්මෙක් තාත්තෙක්ගේ වටිනාම සම්පත දරුවො වෙච්ච සමාජයක ඊටත් එහාට, ඒක අභිබවන්න පුලුවන්, ඒක අමතක කරවන්න පුලුවන්, ඒක දෙවැනි කරන්න පුලුවන් ප්‍රස්තුත ඇති වීමම කොයි තරම් කේදවාචකයක්ද..?

මේක මොකක ප්‍රතිඵලයක්ද..?මොන වගේ සමාජ සංසිද්ධියක ප්‍රතිඵලයක්ද..? මිනිස්සු මානුශිය ගුණ අමතක කරගෙන යන්න තරම් දුවන්න වුණ රේස් එක මොකක්ද..? ඇත්තෙන්ම එහෙම රේස් එකක් අත්‍යාවශ්‍යද..?

දාහක් ප්‍රශන අස්සෙ මම මොහොතකට හිර වුණා... සමහරවිට ප්‍රායෝගික තත්ත්වයට බැස්සම මගේ මිත්‍රයාගේ කතාව අභියෝගයට ලක් කරන තර්ක ඇති තරම් හම්බ වෙන්න පුලුවන්....

ඒත් අර පුංචි ජීවිත....?

උන් නොදන්න අවදානමක වැටෙන්න තරම් කරල තියෙන වැරැද්ද මොකක් වෙන්න පුලුවන්ද..? ඒ අත්දැකීම ජීවිත කාලෙම විනාස කරන අවස්ථා වෙන්න ඉඩක් තියෙද්දිත් තමන්ගෙම අම්ම තාත්ත ඒ අවධානම ගැනීම ගැන දැනුවත් නම් උන්ගෙ තීරණය මොකක් වෙන්න පුලුවන් පුලුවන්ද... උන්ගෙ හැඟීම් මොකක් වෙන්න පුලුවන්ද..?
.
.
.
නෝටි....


Saturday, December 15, 2018

ලස්සනම මතක තියෙන්නෙ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න යන කාලේ .....

" මචං, ඒකි ඉන්න තැන බලාගන්න යන බස් එකේ නැගල යමුද..? "

ඌ අහන්නේ කළුතර ඉදලම කෙල්ල එන බස් එකේ ඇවිත් අළුත්ගමිනුත් බැස්සට පස්සෙ...වෙලාව 6ට කිට්ටුයි...උදේ ඉඳලම බස් එකටයි ක්ලාස් එකටයි පාරේ කඩේටයි සින්න වෙච්ච දවස එපාම කරපු මහන්සියක් දෙන්නෙ...

ඒ 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟ දවස... ශ්‍රීලංකාවයි ඕස්ට්‍රේලියාවයි ආයෙත් මුහුණට මුහුණ... මගේ කැමහිම එකා තමයි කැපටන්, මහේල....ඒත් මූ ඊට වඩා වටිනවනේ...

" හරි යමන්..."

බස් ස්ටෑන්ඩ් එක ඇතුලෙන් ගිහින් කෙල්ල වාඩි වුණේ කාලවිල බස් එකේ... කාලා වරෙන්කො...මේකි කොහෙන් බහිනවද කියල දෙයියෝ තමයි දන්නේ.. ඕනේ එකක් 20යි කියල ගත්තා ටිකට් කාලවිලටම....

බස් එක පාදගොඩට එද්දි කෙල්ල බැස්සා... ටිකට් අමතක කරල අපිත් බැස්සා... දැන් කෙල්ලට මීටර් 200ක් විතර දුරක් තියාගෙන පස්සෙන් යනවා.. මේ කෙල්ල යනවා යනවා යනවා ඉවරයක් නෑ යනවා...
ඈතින් පෙනුන තුන්මන් හංදියෙන් එක පාරටම කෙල්ල අතුරුදහන් වුණා... මොන තාලෙන් හෙව්වත් ඒ කෙල්ල ගිය ගෙයක් හොයාගන්න අපිට විදිහක් තිබුණා... කිලෝ මීටරයක් විතර පයින් ඇදල සෑහන අමාරුවෙන් හිටපු අපි ආයෙත් ඒ දුරම පාරට ආවා... කලුවරත් වැටීගෙන එද්දි පාදගොඩ ඉදන්ම ගාලු පාරටම අපි පයින් ආවා...

ගෙදර ඇවිත් කකුල් දෙකත් උඩ තියාගෙන අපි මැච් එක බැලුවා...

එදා මැච් එක අපි පරාදයි...
ඒ වගේම ලව් එකත් පරාදයි...

හැබැයි ඒ මතකය සෑහෙන ආතල් එකක් අපිට ඉතුරු කරා.. අදට 11ක් වෙද්දිත් අපි හිනාවෙන්නෙ ඒ මතක එක්ක... ඒ කෙල්ල අදට අයුර්වේද වෛද්‍යවරියක්... එතනින්ම බෙහෙත් ගන්න ගිය මමයි මගේ එකයි දෙන්නම එතනින් එලියට ඇවිත් බඩවල් අල්ලගෙන හිනාවුණේ ඒ පරණ මතක එක්ක...

ජීවිතේ ලස්සනම මතක තියෙන්නෙ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න යන කාලේ.... ඒ තමයි හොඳම මතක... ඒකත් අනිකට කරදරයක් නොවෙන්න කරපු අහිංසක උත්සාහයන් වල... උඹලත් හැමතිස්සෙම තියාගනිල්ල මැරෙන්න ඕනේ මතක වෙනුවට ජීවත් වෙන්න පුලුවන් මතක...

ජීවිතේ කියන්නෙ ඒකටලු... එපා කරපු මතක මත්තේ මැරෙන්න ඕනේ කියන ඇත්තෙන්ම අත්‍යාවශ්‍ය දෙයක් කියල අපි හිතුවට ඒක එහෙම නෙමෙයි... ඒක අපිම දාගත්තු කරදරයක් විතරයි...

ඒ වෙනුවට අපිට තියෙන හිනා වෙන්න පුලුවන් ඒවා එක්ක ඉස්සරහට යමු... ඒක අපිට වගේම අපේම පහල පරම්පරාවලටත් ලොකු උදව්වක්, අත දීමක් වේවී... හොද මතක, හොද සමාජයකට පාර කපාවි....
.
.
.
නෝටී


Monday, December 3, 2018

අපේ කාලේ මෙහෙම නෙමෙයි....!




බුකියට ලොග් වෙනකොට පේන කන්ටේනර් ගනන් සංවේදී පෝස්ටු පේනවද...? එක එක ආකාරයේ සමාජගත ආතල් ගැන පෝස්ටු දැකල තියෙනවද..? සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියල බෙරිහන්දෙන පෝස්ටු දැකල තියෙනවද..?  රටට කිසිවක් නොකරම කොමිස් කුට්ටියට වැඩ කරන හොරාකන දේශපාලකයන්ට දෝශාරෝපණය කරන පෝස්ටු දැකල තියෙනවද..? ගල් බෝතලේට බත් පැකට් එකට රු.1000ට දේශපාලන රැස්වීම් වල බඩගාන්නෙපා කියන පෝස්ට් දැකල තියෙනවද...?
ඇති තරම් නේද...?
දැන් බලන්න, සත්‍ය ජීවිතේට ලොග් වෙන කොට ගමේ පාර සුද්ධ කරගන්න කුණු ටික වෙන් කරල යවන්න උනන්දුවෙන මිනිස්සු දැකල තියෙනවද..?
ගමේ සමාජ සේවා සංගමයක් පිහිටවන්න තරුණයෝ තරුණියෝ කී දෙනෙක් ඉන්නවද..?
සහතිකයක්, තෑග්ගක් නැති තරඟාවලියකට ඉදිරිපත් වෙන්න කී දෙනෙක් හොයාගන්න පුලුවන්ද...?
ඒ අමාරු දේවල්මය කියල පැත්තකින් තියලා අපේ වියදම් හෝ කාලය අවම දේවල් බලමු...
බැංකුවක, ශෙඩ් එකක එහෙමත් නැත්තන් අඩුම දන්සලක පෝලිමේ ඉවසීමෙන් ඉන්න පුලුවන් කී දෙනෙක් ඉන්නවද....?
කහ ඉර මීටර් කීපයක් ඉස්සරහ තියෙද්දි පාර පනින අය කී දෙනෙක්ද..?
කලර් ලයිට් එකේ තත්ත්පරේ පරක්කුවට හෝන් එක උඩ නගින අය කී දෙනෙක්ද...?
......................
මේ ටික බැලුවම පේන්නෙ මොකක්ද...? මිනිස්සු සෑහෙන ආත්මාර්ථකාමියි... ඒ වගේම එහෙම නෑ කියල පෙන්නගන්න සෑහෙන ගේමක් දෙනවා... අඩෝ මම මේ සිස්ටම් එක බලපන්.. මේක වෙනස් කරන්න ඕනේ... මේක හරි අසාධාරණ සිස්ටම් එකක්.. අන්න එහෙම කියල  මම සෑහෙන හොදයි මම මේ සිස්ටම් එකට වගකිවයුතු නැති එකෙක් වගේ චිත්‍රයක් මවන්න හදනවා...
ඒත් ඇත්ත වෙනම කතාවක්... මම කැමති නෑ මට ප්‍රතිලාභයක් නැති මගුලකට මැරෙන්න... මම කැමති නෑ මට පාඩුවක් කරගෙන සමාජයට කඹුරන්න... මම කැමති නෑ අනිත් එකාට පහලින් ඉන්න... මම කැමති නෑ මගේ පහසුවට වඩා නීතී රීතී ගැන සැලකිලිමත් වෙන්න..  මම කැමති නෑ සුලු සුලු සදාචාරාත්මක හෝ විනය කාරණා නිසා කට්ට කන්න...
මොනවටද මම කැමති....?
මම කැමතියි අනිත් අය හැමෝම සමාජ සේවය කරන කාලෙක ඒකට සෙට්වෙන්න...
මම කැමතියි කවුරු හරි බර කරට අරන් කරද්දි ඒකේ පොඩි කොටසක් වෙන්න...
මම කැමතියි මටත් යමක් ලැබෙන තැනකට ශ්‍රමය දෙන්න...
මම කැමතියි අනිත් හැමෝම පෝලිමේ ඉන්නවනම් ඒක අනුගමනය කරන්න...
ඔය ටික තමයි මම කැමති... ඔයවගේ කැපකිරීමක් මට සමාජය වෙනුවෙන් කරන්න පුලුවන්.. ඒ මම ඇත්තටම පරාර්ථකාමී නිසා... ඒ එක්කම අනිත් අයත් එහෙම වෙන්න ඕනේ.. සමහරු ඒක ලීඩ් කරන්න ඕනේ.. ඒකට මම එච්චර කැමැත්තක් නෑ.. ඕවා කුණු ගොඩවල් නේ..
ඕක තමයි සරල සමාජයීය පැතිකඩ අපේ... අන්න ඒ ඉමේජ් එක සාක්කුවේ දාගෙන ජීවත් වෙන තක්කඩි තමයි අපි... පොඩි උත්සාහයක් ඇති මේක වෙනස් කරන්න... හැබැයි ඒක අනුන්ගෙන් නෙමෙයි... තමන්ගෙන් එන්න ඕනේ.. මගෙන් එන්න ඕනේ...
මේක තමයි තාරුණ්‍ය අද වෙද්දි මුහුණ දෙන විශාලම අභියෝගය... ප්‍රතිලාභ නොලබන පරාර්ථයකට යොමුවීම...
මේක තමයි ඉහල පරම්පරාවෙන් නොලැබෙන ඔවුන්ට ලැබියයුතු පණිවිඩය වගේම ආදර්ශය....
ජීවිතය රේස් එකක් නෙමෙයි....
කොහෙත්ම තරඟයක් නෙමෙයි...
මේක ටීම් වර්ක් එකක්...
ඔබ මම මේ මේන්ටේන් කරන ආත්මාර්ථකාමීත්වය කිසිසේත්ම සත්‍ය ප්‍රතිඵලදායක යමක් නෙමෙයි... අද මේක මේ මොහොතට ඔබට මට ආතල් එකක් සපයාවී.... තව අවුරුදු කිහිපයකින් ඔබත් මමත් මේ වෙනුවෙන් නිවී හැනහිල්ලේ පසුතැවේවී...
අන්න එදාට අපේ කටවල් මේ වාක්‍ය නොකිව්වොත් ඒක ලෝක පුදුමයක් වේවී....
" අපේ කාලෙ නම් මෙහෙම නෑ..."
ඔව් අපේ කාලේ එහෙම නෑ.. එහෙම නොවෙන කාලෙකට අපි පාර කපල දුන්නා... එච්චරයි...
හෙට හොදම දවස..... අද නෙමෙයි...
.
.
.
නෝටී



Monday, October 15, 2018

Funny - ෆනී

ඈ ඇගේ ඇතිල්ලෙන්නටත් කෙඳිරි ගාන්නටත් විය... පුටුවේ හිඳ සිටි මගේ කලවය මත යටි තල්ල තබා ඇස් උස්සා දුක් මුසු බැල්මෙන් බලා සිටින්නට විය....
.
ඒක එහෙමම තමයි වුණේ... මම කරේ අතේ තිබුන රෝල්ස් එක හෙමින් හෙමින් කන එක... ඇතුලෙ පොඩි බිත්තර කෑල්ලකුත් දාලා රු.10කට උණු උණුවෙ කන්න හම්බෙන එකම මදිද....?

" ඊස් දිස් ෆ්‍රොම් මුස්ලිම් කඩේ.."

මගේ ඔස්ට්‍රියානු මිත්‍රයා කැඩුනු ඉංග්‍රීසි සහ සිංහල මිශ්‍ර ඔහුටම ආවේනික භාෂාවකින් අහන්නෙ එහෙම... ඒ ඇහුවේ මම දර්ගා ටවුන් එකෙන් ගත්ත කිව්ව නිසා... එක දවසක් මුස්ලිම් කඩයකින් කෑම අරගෙන අහම්බයකින් කුස්සිය දිහාවට ගිහින් ලැබිච්ච අමිහිරි අප්‍රසන්න අත්දැකීමක් නිසා එයා ඒ කඩවලට පුදුම අකමැත්තක් දක්වනවා... මේක ගත්තෙ පාරේ කරත්තයක් තියාගෙන හිටපු මුස්ලිම් මනුස්සයෙක්ගෙන්... ඒත් මම මෙහෙම කිව්ව....

" නෝ දිස් ඊස් ෆ්‍රොම් සිංහල කඩේ.."
ඊට පස්සෙ තමයි මිනිහා රෝල්ස් එක අතට ගන්නෙ... ඒත් " Funny " තාමත් මගේ කලවයේ හොම්බ තියාගත්තු ගමන්... අන්තිමේදි මම රෝල්ස් එකක් උගෙ කටේ තිව්ව... ෆනි කිව්වෙ මගෙ මිත්‍රයා පාරේ හිටපු පොඩි කික්කියෙක් ගෙනත් දැන් ලොකුවට ඉන්න බැල්ලියෙක්... බොහොම පරිස්සමින් මගෙ අතින් රෝල්ස් එක ගත්තු ඒකි වට පිට බැලුවා... වෙනදා දොරකඩ තියෙන පාපිස්ස එතන නෑ... කෙලින්ම බාත් රූම් එක දක්වා ගියා.. එතන පාපිස්සක් තියෙනවා... රෝල්ස් එක එතන තියාගත්තා...

ඒක හරි පුදුම සහගත චර්‍යයාවක්... අවුරුදු දෙකක් විතර තිස්සෙ දකින මේ බැල්ලි එකම දවසක්වත් තමන්ට එක කටට ගිලින්න බැරි කෑමක් බිම තියාගෙන කනව මම දැකල නෑ... ඒ වගේම තමයි පහල ගේට්ටුව ගාව කටහඬ ඇහෙද්දි ගේට්ටුව ගාවට නෑවිත් ඉදලත් නෑ... ගේට්ටුව ගාව ඉදල උඩ තට්ටුවට නගිනකම්ම මගින් මගට නැවති නැවති අඬගහගෙන යන්නෙ...

වැදගත්ම කාරණේ ඌ සාමාන්‍ය ව්‍යවහාරයේ අපි වල් බල්ලෙක් කියන එකෙක්....

කියන හැම දේම වගේ ඒකිට හරියටම තේරෙනවා..  ඒ වගේම පුරුදු හරියටම ෆලෝ කරනවා...

ඒක තීරණය වුනේ ලැබුන ආදරය සහ ආශ්‍රය කරපු පුද්ගලයගෙ පුරුදු....

බල්ලෙක්ද කොල්ලෙක්ද කියන දෙකේම පැටිකිරිය නෙමෙයි අදාල.... සමාජයෙන් / වටපිටාවෙන් ලැබුණ උත්තේජනයි අදාල....

හැම තිස්සෙම තමන්ගෙ කොල්ලටත්, බල්ලටත් හොඳ වටපිටාවක් ලබා දෙන්න මතක තියාගන්න....
.
.
.
නෝටී...


Wednesday, October 3, 2018

පොෂ් කෑම සහ අනාගෙන කෑම...



අහාර ගන්න විධි එකිනෙකාගෙන් එකිනෙකාට සෑහෙන්න වෙනස් වෙනවා.... කෙනෙක් හැඳි ගෑරුප්පු භාවිතා කරද්දි තව කෙනෙක් දකුණත පාවිච්චි කරන්න පුලුවන්, තව කෙනෙක් වමත, තවත් කෙනෙක් ඇඟිලි පුරුක් දෙකක් උඩට පාවිච්චි කරද්දි, තවත් කෙනෙක් අල්ල දක්වාම පාවිච්චි කරන්න පුලුවන්...
.
මේකෙදි අපි එකිනෙකාට සාපෙක්ෂව මේ රටාවල් පිලිකුල් කරන්නත් පුලුවන්... පිළිකුල හිතට එන්නේ අපිට නුපුරුදු දෙයක් ගැන නිසා සහ අපේ ආකල්ප නිසා මිසක ඒ රටාවන් ඇත්තටම සියල්ලටම පිළිකුල් නිසා නෙමෙයි...
.
ඒ වගේම මේ රටාවල් නිසා කෙනෙක් උස් පහත් විදිහට බෙදන්න හේතුවකුත් නෙමෙයි... කෙනෙක්ගේ අධ්‍යාපන හෝ බුද්ධි මට්ටම මනින්න හේතුවකුත් නෙමෙයි... ඒත් අවාසනාවට ඒක එහෙම සිද්ධ වෙන තැනුත් නැතුවම නෙමෙයි...
.
අපි එකිනේකාගේ ආහාර රටාවල වෙනස අවබෝධ කරගන්න පුලුවන් තරම් බුද්ධිමත් නම් මේක ලොකු ගැටලුවක් නෙමෙයි... හැඳි ගෑරුප්පු පාවිච්චි කිරීම හුරු වුණ කෙනෙක්ට අතේ කෑම තවරගෙන කෑම අවුලක් වෙන්නේ තමන් නොදන්නා ආතල් එකක් නිසා මිසක් නිරපේක්ෂ අවුලක් නිසා නෙමෙයි... අතින් කෑම ගන්න කෙනෙක්ට තදින් මුලු කෑම එකම අනාගන්න කෙනෙක් දැක්කම අප්‍රිය ගතියක් ඇතිවෙන්නෙත් ඒ තර්කයෙන්මයි....
.
ආහාර ගන්න සාතිශය බහුතරයක් ඒක ගන්නේ යම් විඳීමක් බලාපොරොත්තුවෙන්....ආතල් එකක් බලාපොරොත්තුවෙන්... ආහාර ගැනීම නිකම්ම බඩගින්නට යමක් බඩට දාගැනීමක්ම නෙමෙයි... ඒකෙදි සමහරු ඇහැ පිනවන්නත් කැමැත්තක් දක්වනවා... ඒ නිසා තමයි එක එක හෝටල් වලදි කෑම පිළිගන්වන්නට පෙර ඒක සරසන්නේ... ගෙදරකදි වුණත් අපි ඒ දේ කරනව ඇති...
.
ඒ නිසා පොෂ් ( මේක මේ සඳහා සුදුසුම වචනේ නොවුණත් මුල්බැසගත්තු ව්‍යවහාරය නිසා යොදනවා ) හෝ වේවා ගමේ හෝ වේවා හැම කෙනාම ආහාරය යම් විඳීමකුත් බලාපොරොත්තුවෙන් තමයි ගන්නේ... කෑම බඩ වගේම ඇසත් පිනවන තරමට ඒකේ රසය වැඩිවෙනවා, ආතල් එක වැඩිවෙනව...

එකිනෙකාගෙ ආතල් වෙනස් නිසාම හෝටලයකින් එලියට එන සැරසිලි සහිත මිල අධික කෑම වේලක් හා සමානවම මැටිකෝප්පයක එකට අනන ලද කෑම වේලකිනුත් දෙන්නෙක් එක හා සමානවම ආතල් එකක් ගන්නව වෙන්න පුලුවන්... ඒ නිසා වැදගත් කන ක්‍රමය හෝ කෑම නෙමෙයි... ඒකෙන් තමන්ට කොච්චර ආතල් එකක් ලැබෙනවද කියන එක විතරයි...
.
ඔය අතරේ අපි අමතක නොකලයුතුයි විඳීමක් නැති හුදෙක් තමන්ට දැනෙන බඩගින්න නිවාගැනීම සඳහාම බඩට යමක් කෙසේ හෝ දමා ගන්න අතලොස්සකුත් ඉන්නවා... ඔවුන් ඒ ක්‍රියාවෙන් පවා තමන්ගේ බඩගින්න නිවාගැනීමේ සතුටක් භුක්ති විඳින්නන්... ඒ නිසා ආහරය සමස්තයක් ලෙස ශාරීරික වගේම මානසික විඳීමකුත් තෑගි කරන යමක්...

පීසා ද රොටිද වටින්නේ කියන එක නෙමෙයි වැදගත්... ඒක අනුභව කරන්නා කවුද කියන එකයි.... මෙන්න මේ සරල යථාර්තය බිඳ හෙලපු වෙළඳ උපක්‍රම වලට යට වීම නිසා තමයි අපි අතරත් සීතල යුද්ධයක් ඇතිවෙන්නේ පොෂ් සහ ගොඩේ කෑම විදිහට... යතාර්තයේදී එහෙම බෙඳීමක් නැති තරම්... සියල්ල කෑම මිසක්, විඳීමක් මිසක් ඊට එහා යමක් නෑ...
.
එතනින් එහා තියෙන්නේ ආහර වල තත්ත්වය සහ ආහාරයට සුදුසු බව කියන කාරණා විතරයි...
.
.
.
නෝටී


Wednesday, September 26, 2018

පිදුරංගල සහ පුක....

කාලෙකට පස්සෙ කොණක් අහුවුණේ බ්ලොග් එක කොටන්න... පිදුරංගල සහ පුක සෑහෙන මාකට් එකක් රඳවගෙන ඉන්න වෙලාවේ ඒක ගැන පොඩ්ඩක් ලියාගත්තොත් රීච් වැඩිවෙයි කියල මගේ හිත කියන නිසාම ඔන්නොහේ කොටන්න ගත්තා....

මේ සම්බන්ධ මත ගාණක් තියෙන එකේ අපි එකින් එක අරගෙන හැකිතාක් සාධාරණව කතා කරන්න බලමු....

1) තමයි මේක ආගමිකාතල් එක කුඩු කලාය කියන එක...
ආගම සම්බන්ධයෙන් නම් ඔව්, ඒක එහෙම තමයි... ආගමක් කියන්නේ ඇදහීම් කොටසක් එක්ක අන්ධානුකරනයෙන් සිද්ධ කරන ක්‍රියාකාරකම් සමූහයක්නේ... ඉතිං එහෙම සංවේදී තැනක මේ වගේ විගඩමක් නැටුවම ආගමිකාතල් කුඩු වෙලා ඒ මිනිස්සුන්ට මල පනින එක සාධාරනයිනේ චාමර... ආගම හෝ ඒකේ කන්සෙප්ට් සමහරකට අදාල නැති කම ආගමේ උන්ට අදාලත් නෑනේ... ඒ තර්කෙන්ම...

2) මේක කොලු කමට කරාය කියන එක....
වෙන්නත් පුලුවන්, කොල්ලො ඉතිං කොලු කමට ඕනේ ගූගොඩක් කටේ ඔබාගන්න ලෑස්තියිනේ... ඒකනේ මෙච්චරටම භයානක මත්ද්‍රව්‍ය පවා සමාජගත වෙන්නේ සං සං ගාල... පලවිපාක හොයන්නේ පස්සේ, මුලින් උන් කරලම බලනවා... ඇණගත්තම තමයි කොටසක් හරි පාඩමක් ඉගෙන ගන්නේ.. ඒකනේ කොලු කම කියන්නේ....

3) උන්ගේ පුකනේ උන්ට කැමැත්තක් කරගත්තාවේ....
ඒකනම් පුකේ රැඩිකල් ටෝක් එකක් මිත්‍රවරුණි... එහෙම එක එකාගේ කැමැත්තට වැඩකරන්න ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙවත් ඉඩක් නම් නෑ... නිදහසකට හැම තැනම සීමා තියෙනවා... ඒ නිසා එක එකාගේ පුකවල් වුනත් ඕනේ ඕනේ හැටියට එලියෙ දාගෙන යන්න නම් ඉඩක් නෑ....ඒක එහෙමය මෙහෙමය කිව්වත් ඒකෙන් තවත් කොටසකට මානසික හෝ පීඩාවක් වෙනවනම් (මවාපාන ලද නොවන ) ඒක නිදහසක් කියල අර්ථදක්වන්න මම නම් කැමති නෑ....

4) අන්තිමට තමයි මේක ටුවරිසම් ට්‍රෙන්ඩ් එකක්ය කියන එක...

ඒක එච්චර සාර්ථක තර්කයක් නම් නෙමෙයි... සුද්දො (ව්‍යවහාරිත භාෂාවෙන් ) සාමාන්‍යයෙන් මෙහෙට එන්නේ ලෙෂර් ඩෙස්ටිනේෂන් එකක් විදිහටනම් නෙමෙයි.. මෙහෙ තියෙන ලෙෂර් බැරියෑ... උන් මේකට එන්නේ මෙහෙ තියෙන ඓතිහාසික වටිනාකම් ටික බලන්න, මැණිකක් වගේ දෙයක් අරන් යන්න, ස්වභාවික තැන් ටික බලන්න, අනික් විශේෂම කාරනේ මේ රටේ තියෙනවය කියල හිතන සංස්කෘතිය බලන්න... උන්ට ඒක වයලේට් කරන්න වුවමණාවක් නම් නෑ.. උන් අපිට වඩා කැමතියි මේක එහෙමම පවතිනවට.... නිකමට හරි කියල බැලුවනම් ඔය පුක පෙන්නුවය කියන සුද්දෙක්ට ඕක වැරදියි මේක රටේ මිනිසුන් කොටසක් ගෞරවයෙන් පවත්වාගෙන යන ස්තානයක් කියල උන් අනිවාර්‍යයෙන් සමාව ගනීවී...
වැඩිය ඕන්නෑ... සුද්දො පන්සල් යන්න කලින්, නුවර දලදා මාලිගාවට යන්න කලින් ඇවිත් අහනව ඩ්‍රෙස් කෝඩ් එක මොකක්ද කියල... උන් ඒ තරම් නීහතමානියි, මහත්මා ගතියෙන් පිරිල... අපිට වගේ ආතල් කුඩු කරලම ආතල් ගන්න කැසිල්ලක් උන්ට ලොකුවට නෑ....

එක පාරක් කපල් දෙක ඇවිත් හිටියා.. එතනින් එක ගෑනු කෙනෙකුට දිග කලිසම් තිබුනෙ නෑ... ඒ නිසාම පන්සල් ගමනට තුන් දෙනෙක් විතරක් සහභාගී වෙන්න එයාලා තීරණය කරා... පස්සෙ සරමක් හොයල දීලා ඒ ගමන පිටත් කරේ...

මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ සංස්කෘතියෙ නෙමෙයි, ඒකට ඇතුලත් සමහර අංග වල විතරයි.. මිනිස්සු පෙලන, සිරකරන සංස්කෘතිකාංග වලට අපිත් අකමැතියි...එහෙමයි කියල ඒකෙන් අදහස් වෙන්නෑ සමස්ථ සංස්කෘතියටම පුක පෙන්නන්න ඕනේය කියල....

රටේ ලක්ෂ ගාණක් හම්බ කරන් කන සංචාරක කර්මාන්තය වෙනුවෙන්වත් සංකේතාත්මකවවත් සංස්කෘතිකාංග රැකිල තියෙන්නේ කොච්චර අඩුවෙන්ද... හරිනම් සංචාරක ප්‍රදේශවල රජය වියදම් කරල හරි මේ දේවල් නඩත්තු කරන්න ඕනේ...
.
ඉතිං ආයෙත් මේ පිදුරංගල දිහාට හැරුණම ඔය උඩ කියපු කාරණා සේරම අතෑරියත් ඇදුමක් ඇදගෙන ඉන්න ඕනේ තැනක ඒක ගලවල ( හදිසි අවශ්‍යතාවයක් නැතුව ) ප්‍රදර්ශණය කරනවා නම් ඒක ප්‍රදර්ශණකාමීත්වයක්නේ ... ලාවට වගේ කිව්වොත් මානසික අවුලක්නේ... ඉතිං හොදම දේ තමයි අදාල පුදගලයෝ අතඩංගුවට අරන් පිස්සු කෙලිනවට වඩා මානසික  වෛද්‍යවරයෙක්ට පෙන්නන එක....
.
.
.
නෝටි


Tuesday, August 21, 2018

අසීමිත නිදහසක් .....!

සෑහෙන හැල හැප්පීම් අස්සෙ ගෙවෙන බුකි ජීවිතේට දවස ගානේ අලුත් අලුත් මාතෘකා එද්දි ඒවයේ අපි රස්තියාදු වෙද්දි නිකමට අතට අහු වුනා කලාකරුවාගේ නිදහස ගැන කතාවක්... කලාවට අනන්ත අපරිමාන නිදහසක් තියෙන්න ඕනෙය , ඒක වාරනය වෙන්න නරකය වගේ සෑහෙන දාර්ශනික කතාන්දර කිහිපයක් මේක එක්ක පටලැවිල තිබුණා...

ඇත්තටම එහෙමද...? කලාවට බැරියර් නැද්ද..? ඒක ඕල්මයිට් වගේ සීන් එකක්ද..? එතකොට කලාවට ඉහලින් නිල් අහස පමණක්ද..? ඔව්.. තමන්ට එහෙම හිතාගන්න පුලුවන්... ඒකේ කිසිම වැරැද්දක් නෑ... හැබැයි ඒක බුද්ධිමත් මිනිහෙකුගේ හැඟීම් නම් වෙන්න බෑ....

කලා කෘතියක් කියන්නෙම සමාජයට යමක් දායාද කරන්නක්නේ...නිකන්ම අදින බලි කුරුට්ටකට, අකුරුවලට, තීන්ත පාරකට එහෙම කලා කෘතියක් වෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නය තියෙනවනෙ...ඒ සියල්ල පැත්තකට දාමු,

එතනින් එහාට කලාකරුවෙක්ට තමන් කැමති විදිහක නිර්මාණ කරන්න ඉඩ තියෙනවද..?  එහෙම තිබිය යුතුද..?
ශ්‍රී ලංකාව තුල ඔය දෙකටම පිළිතුර නැහැ කියන එකයි...මානව සංවර්ධනය අතින් ඉහල අගයක නැති අපි වගේ සමාජයක විවේචන, අදහස් දැක්වීම් වලට යම් සීමාවක් තියාගන්නම ඕනේ... එහෙම නොවෙන්න ඒක විශාල විනාසයකට අත පෙවීමක් වෙන්න පුලුවන්...
කියන්න පුලුවන් වුණ පලියට කියවන කෙනාට අපි ග්‍රාමීය ව්‍යවහාරයේදී වාචාලයා කියනව වගේම සමාජයීය අවශ්‍යතා හෝ ප්‍රවනතා හඳුනා නොගෙන අන්තනෝමතිකව කලාව භාවිතා කරන කලා කරුවන්ටත් එවැනි වචනයක් භාවිතා කිරීමේ අවුලකුත් නෑඒ මම හිතන්නේ....

මේ රටට අවශ්‍ය සමාජ ප්‍රගමනයට හා සංහිඳියාවට එහෙමත් නැත්තන් මානව සංවර්ධනයට දායක විය හැකි කලා කෘතීන්, ඒවත් අදාල සමාජයේ පහලම ස්ථරයේ සිටම හෝ කාවැද්දවිය හැකි ඒවා වෙන්න ඕනේ... වඩාත් සංවර්ධිත මානව පැතිකඩයන්ට වඩා ප්‍රගමනයට දායක වන කලා කෘතීන් අවශ්‍ය වන්නෙ ව කියන පහලම ස්ථරයන්ට... අන්න ඒ මානව සම්පත ඉහල තලයකට ආවට පස්සෙ අපිට පුලුවන් කලාවේ නිදහස වඩාත් පුලුල් කරන්න... සියල්ල අතිශය බුද්ධිමත් වන තුරාවට අසීමිත නිදහසක් කියන්නෙම සංකල්පයක් විතරයි....

ඉතිං කිසියම්ම හෝ පුද්ගලයෙක් වර්තමාන සමාජ තත්ත්වය යටතේ මට අසීමිත නිදහසක් තිබිය යුතුය කියල කියනවනම්,
එක්කෝ
අදාල පුද්ගලයා බුද්ධිමත් නෑ,
නැත්තන් ඔහු සතුව එලි දැක්වීමට හානිකර යමක් පවතිනවා...
.
.
.
.
නෝටී....


Sunday, May 20, 2018

රැඩිකල් / වැඩිහිටියෝ.....




රැඩිකල් වීමේ අවුලක් තියෙනවද..? ඇත්තටම එහෙම අවුලක් තියෙනවද කියල හිතෙන තරමටම රැඩිකල් පාච්චල් වෙන කාලෙක ලයික් දෙක තුනක් ඔබාගන්නවත් ඒක ගැන Blog පොස්ට් එකක් පත්තු කරන්න හිතුනා... ( ආන්න දැක්කද, මම ඒකත් රැඩිකල් විදිහට හිතුවේ..)
රැඩිකල් මෙහෙමය, අරෙහේය, පුකේ රැඩිකල්ය, වෙන්න රැඩිකල්ය වගේ අටොරාසියක් ටෝක් ඉසූ කරන සිඟිත්තෝ පැත්තකටම දාමූ.... සමාජ භාවිතාවක් තියෙන, මහා ප්‍රඥ ටයිප් ඩෑල්, උගත්තු, විචාරකයෝ, වගේ එකී මෙකී නොකී සෑහෙන්න සෙටාර් එකක් මේ රැඩිකල් ලඟදි ඉදන් පට්ට ගහන්න අරං තියෙන එකේ ගලා යාම මොකද්ද කියල පොඩ්ඩක් ඔලුව දාලා බලන්න කියල රැඩිකල් අදහසක් මටත් ආවා...

ඊට කලින් බලමුකෝ මේ රැඩිකල් වගේ දේකට ඇත්තෙන්ම අපිට යොදා ගන්න පුලුවන් සිංහල පේලියක් පහසුවටත් එක්ක...ඉතින් ගූගල් දෙයියගෙන් අහල බලල ඒක අමාරුවෙන් සිංහලට පෙරලගත්තම එනව මෙන්න මෙහෙම වගේ අදහසක්.....කොහොම එකක්ද,,, මෙහෙම එකක්...
" සම්මත ප්‍රවාහයෙන් අපගමනය වූ.."
ඒ කිව්වෙ පිට ගිය එකක්... දැනට කෙරෙන්නෙ කොහොමද....ඒකෙන් පිට පැනපු ක්‍රම්යක් හෝ කෙනෙක් කියල සරලව ගන්න පුලුවන්...මේකට තනි වචනයක් දුන්නොත් මේක " විකෘතියක් "....
අපි සමස්ථයක් ගත්තම හරිම කැමතියි පහසු දෙයක් කරන්න... ඒ කිව්වෙ වැඩි සපෝර්ට් එකක් ලැබෙන දෙයක් කරන්න...ඒක කරදර අඩුයි... ඒක නිසා අපි ලඟ ජාන විකෘති ඇරෙන්න සමාජයීය වශයෙන් විකෘති තියාගන්න කැමැත්ත හුඟක් අඩුයි....

ජාන විකෘති කිව්වම මතක් වුණේ... ජීව විද්‍යාවෙදි මේ ජාන විකෘති වලට පට්ට තැනක තියෙනව.. ජීවයේ පැවැතමට වගේම අපේ ජීවත් වීමේ මෙහෙයුම හෙවත් ප්‍රවර්ථනය එහෙම නැත්තන් නොනැසී පැවතීම කියල සමහරු කියන දේ කරගන්න මේක හුඟාක් වැදගත්ලු...

ඒකෙන් ගැලවෙලා ආපහු අපි සමාජයීය විකෘති වලට ලොග් වුණාම සමාජය ගලා යන්න පටන් ගත්තු දා ඉදලම මෙහෙම විකෘති තියෙන මිනිස්සු හිටියා.. අදටත් ඉන්නව...අපිට බොහොම ලඟ ආගමික ශාස්තෲන් මෙහෙම අය... එයාලා බහුතරයක් පවත්වාගෙන ආපු දේට වෙනස් දෙයක් එකතු කරා.. ඒක හොඳ හෝ නරක වීම වෙනම කතාවක්, නමුත් ඒක ප්‍රධාන වශයෙන් විකෘතියක්... ආයෙත් මුල මතක් කරගත්තොත් එයාල පට්ට රැඩිකල් මිනිස්සු...ඒ වගේම ලෝකය පුරා ඉන්න විද්‍යාඥයින්, සිවිල් ජනතාව අතර ඉන්න විවිධ මතධාරීනුත් මේ ගොඩට වැටෙනවා....

මේ හැම රැඩිකලෙක්ම සමාජ ප්‍රගමනයට දායක වෙන්නෙ නෑ... එහෙම නොවුණා කියල ඒකේ සෛද්ධාන්තික ගැටලුවකුත් නෑ... සරලව කිව්වොත් එහෙම වෙන්න කියල ලෝ එකක් නෑ....ඒත් එහෙම නොවෙන අය ඉබේම හැලිල යනව.. ඉබේම කිව්වෙ ස්වභාවිකවම... ප්‍රගමනයට දායක වෙන දේවල් ( අදාල කාලයට සාපේක්ෂව ) මඟින් පවතින සමාජය ප්‍රතිස්ථාපනය වෙනව... ඒක ඒ තරම්ම සරල, ගූගල් කරල හොයාගන්නත් පුලුවන් සුළු දෙයක්....

ඉතිං වැදගත්ම දේ තමයි රැඩිකල් කියන්නේ සමාජ ප්‍රගමනයට අත්‍යාවශ්‍ය ඒ වගේම ඉතාම ස්වභාවික දෙයක් කියන එක...

ඒත් බොහොම කලාතුරකින් ඉන්නව මෙන්න මේ ස්වභාවික ක්‍රියාවලියට අකමැති ජීවියෝ හෝ ප්‍රගමනයට දායක නොවන රැඩිකල් ජීවියෝ... මෙයාලට එනව පොඩි කැසිල්ලක් මේ වගේ දේවල් ගැන...එක්කෝ එයාලට ඕනේ වෙනව ටිකක් කැපිල පේන්න මොකක් හරි සිද්ධියක් ගොඩ නගා ගන්න... ඉතිං හතර අතේ නෙලනව මොකක් හෝ අල්ලගෙන.... අන්න එහෙම අයගෙන් තමයි පුකේ රැඩිකල්, වෙන්න රැඩිකල්, වගේ අපබ්‍රංස වචන එන්නෙ... මේ කතා කරන්නෙ ඔය වචන භාවිතා කරන වැඩිහිටි පරපුර ගැන.... මොකද දන්නවද, එයාලට හැකියාවක් නෑ මේක හරියට තේරුම් කරල බාල පරපුරට ලබා දෙන්න.....
එයාලට බෑ මේකේ වාසි අවාසි තේරුම් අරන් වටිනාකම පිළිබඳ ඇගයීමක් තමන්ගේ බාල පරම්පරාවට දෙන්න....

හැබැයි අවාසනාවට එයාලා මේ සමාජයේ බොහෝමයක් වගකීම් දරන වැඩිහිටියෝ... දරුවො බිහි කරන, කරපු, අනාගත පරම්පරාව ගයිඩ් කරන වැඩිහිටියෝ....

සිරාවට, අවාසනාවට...
.
.
.
නෝටී


Saturday, April 7, 2018

ජීවිතේ ගමනක්, එකට යන්න ඕන.....

මගේම කියල පඩියකින් ගත්තු මුල්ම වාහනේ තමයි ඒ....
මාස ගාණක් බලල බලල අන්තිමේදි තෝරගත්තු හීරෝ එක්ස්ට්‍රීම් එකේ ගැම්මට යන එක තමයි ඊළඟ මාස ගානේම මේන් ඩියුටිය...
බයික් එක රතු.. ඒ පාටින් ටී එකක්, සපත්තු දෙකක්, එහෙම දාගෙන තමයි යන්නේ...
.
අරගෙන පලවෙනි සර්විස් එකත් කරාට පස්සෙ මම තව යාලුවෙකුත් එක්ක පානදුර පැත්තට යනවා...
හරියටම සුමංගල බාලිකාව පහුවෙලා ටිකක් දුර යද්දි අනිත් පැත්තට ඒ ජාතියෙම සිල්වර් පාට බයික් එකක් යනවා...
අපි ඉස්සරහට ගියා... ප්‍රයිවෙට් බස් ස්ටෑන්ඩ් එක හරියට යද්දි අර පහු වෙච්ච බයික් එක ආපහු ඇවිත් මට ලං කරා... වයිස්සරේ උස්සල මිනිහ මට කතා කරා...

" මචන් කොහෙන්ද ගත්තේ "....

මුලින්ම ඇහුවේ ඒක..

" අලුත්ගමින්...අබාන්ස් ශෝරූම් එකෙන්.."

මම කිව්ව....
.
" සර්විස් එකට කොහෙටද දැම්මේ..."

ආයෙත් ප්‍රශ්න...
.
" එහෙ එකටම තමයි බං.."
.
" එව්වට දාන්නෙපා බං.. බයික් එක කනවා... කෙලින්ම මහ එකටම දාපන්.."

ඒ කිව්වෙ නාවලපිටිය හෝ කොලඹ අවට තියෙන ප්‍රධාන හීරෝ සේවා ස්ථානය ගැන...
.
" නිවාඩුවක් දාලා තකහනියක් ගිහින් දාපන් බං.. පාඩු නෑ... ඒකයි මම මේ තකහනියෙ හරවගෙන ආවේ කියල යන්න... "
.
අත වනල මිනිහ යන්න ගියා...
.
මට ත්‍රී ඊඩියට් ෆිල්ම් එක මතක් වුණා...
" Life is a RACE.... වේගෙන් නොදිව්වොත් උඹ පරදීවී.."

එහෙම කාලෙක තමන්ගෙ කාලෙත් වැය කරගෙන, පෙට්‍රලුත් පුච්චගෙන එහෙම ට්‍රැෆික් එකක් අස්සෙ මාව හොයාගෙන එන්න තරම් ඒ කොල්ලට මොන කැසිල්ලක්ද...?
.
ජීවිතේ තරගයක් කියල හිතන ප්‍රොෆෙසර් වයිරස් ලා අතරේ ජීවිතේ ගමනක්, එකට යන්න ඕනේ කියල හිතන රැංචෝලා මේ පොලෙවෙ ඉන්නව කියල ඒ කොල්ල මතක් කරල දුන්නා...
.
තරගෙට දුවන උන් අමතක කරන, මඟ දාලා යන යුතුකම්, වගකීම්, මඟ දිගට අහුලගෙන එන ඒ වගේ උන්ට මම හැමදාමත් ආදරෙයි... උන් නොහිටින්න මේ ලෝකේ අලුවෙලා ගිහින් හුඟක් කල් කියල මම විස්වාස කරන නිසා...
.
මේ සිද්ධිය වුණේ 2014 අවුරුද්දෙ විතර... ඒ සිල්වර් පාට එක්ස්ට්‍රීම් එක පැදපු කොල්ලා මේක දකිනවනම් ( ඌ සයිබරයෙ නැති වෙන්න හේතුවක් නෑ.) උඹ මගේ හිතට වැදිච්ච එකෙක්...
.
.
.
.
නෝටී


Sunday, April 1, 2018

විස්වාස කරන්නන්ගේ දවස...


අප්‍රියෙල් පලමුවෙනිද කියන්නේ මෝඩයගෙ දවස කියලනේ පිළිගැනීම...
ඉතිං අපි කරන්නෙ පුලුවන් තරම් ලඟ පාත අතේ දුරින් ඉන්නෙකාව බයිට් කරන එක..
මොකක් හරි විහිලුවක් දාලා හූ හූ රැවටුනානේ කියනෙක....
.
පොඩි කාලේ වගේ එහෙම දේකට දැන් හිතක් නැත්තේ වැඩිහිටි වීම නිසාම නෙමෙයි...
මිනිහෙක් රැවටෙන එක කොයි වගේ සීමාවකින් නතර වෙයිද කියන සාධාරන බයක් හිතේ දුවන නිසා... මොන වගේ මනසික බලපෑමක් වේවිද කියල බයක් හිතේ තියෙන නිසා...
.
එහෙම අවාසනාවන්ත සිද්ධි නැතුවමත් නෙමෙයි..
මගේම මිත්‍රයෙක් මම ගැනම කරපු මේ වගේම විහිලුවකට මගේම තවත් මිත්‍රයෙකුට ටිකක් කේන්ති ගිහින් තිබුණා...
සමහර වෙලාවට අපි තඳින් බැඳුනු මිනිස්සුන්ට විහිලුවකටවත් කරදරයක් වෙනවට අපි ටිකක්වත් කැමති නෑ.. ඒක සමාජයීය වගේම ප්‍රාථමික සහජාසයක්නේ...
.
එක එක ප්‍රකාශ එක එක මනුස්සයට බලපාන ප්‍රමාණය කලින් නිගමනය කරන්න බැරි තරමයි.. බොහොම ලඟ කෙනෙක්ගේ වියෝවක්, ඔත්පල වීමක් කියන්නේ ඕනෙම කෙනෙක් සසල කරවන්න පුලුවන් තරමේ දෙයක්....
සමහරවිට ලොකු මානසික කම්පනයක් වුණත් ඇතිවෙන්න පුලුවන්....
.
ඒක නිසා විහිලුවක් පුලුවන් හැම වෙලාවෙම බොහොම මට සිලුටුව යන එක තමයි වඩාත් ඇඟට ගුණ...පෞද්ගලිකව මගේ අතිනුත් සමහර වෙලාවට විහිලු නිසා මිනිස්සුන්ගේ හිත් රිදීම් වෙනව...
.
අප්‍රියෙල් පලවෙනිදා මෝඩයගෙ දවස වුණේ බුද්ධියෙ අඩුවක් නිසා නෙමෙයි.. ඒක විස්වාසය සම්බන්ධ දෙයක්... අපි මිනිහෙක්ව විස්වාස කරන තරමට අපි රැවටිලා මෝඩයො වෙන්න තියෙන ඉඩකඩ හුන්ගක් ඉහලයි....
.
ඒ නිසා අප්‍රියෙල් පල වෙනිදා ඇත්තටම විස්වාස කරන්නන්ගේ දිනය කියල වෙනස් වෙන්නයි ඕනේ...
.
.
.
.
නෝටී



Saturday, March 24, 2018

අපිට වඩා දන්න මිනිස්සු....

තේ කඩේ ගාව අන්ධ මනුස්සයෙකුත් එයා එක්ක සහයට බස් එකේ සිංදු කියන්න කෙනෙකුත් ඉන්නව...
ඒ අතරෙම එතන තවත් කෙනෙකුත් ඉන්නව, බස් එකේ යම් යම් දේ විකුණල ජීවිකාව කරගන්න...
මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් මාව අදුරනව...
අනිත් කෙනාට මාව පේන්නෑනේ...
ඉතිං ලඟදි දවසක මම එතන ඉන්න අතරේ තුන් දෙනාගේ කතා බහක් ඇහෙනව...
තුන් වැනියා අන්ධ කෙනාට ඩිස්කවරි චැනල් එක ගැනත් ඒකේ  යන වැඩ සටහන් ගැනත් විස්තර කරනවා..
කොච්චර ලයිව් තාලෙට ඒක කරාද කියනව නම් හරියට සත්ත්ව විද්‍යාඥයෙක් සත්තුන්ගේ හැසිරීම් විස්තර කරනව වගේ ගාණට තිබුණා...
.
කොටියා කොහොමද ගොදුරු කරගන්නේ, එයාගේ කැමතිම කෑම මොකක්ද,
ඔය වගේ බර සාර විස්තරයක්...
මේක ටිකක් කාව්‍යමය වුණත් අහන් ඉන්න කෙනාට මේක ලොකු දැනුම් සම්භාරයක්...
තමන් නොදන්න අලුත්ම කතන්දරයක්...
මිනිහ ඒක බොක්කෙන්ම විස්වාස කරන බවත් මට පෙනුනා...
.
අපේ ඉගෙනුම් රටාවත් මේ වගේනේද, අපේ සන්නිවේදන රටාවත් මේ වගේමයි නේද...
එකම දේ අපි හැමෝටම ඇස් පේන එක විතරයි....
හුඟක් වෙලාවට අපි, අපිට වඩා යමක් දන්නව කියල හිතන හෝ එහෙම අඟවන කෙනාව කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම පිළිගන්නව නේද...
.
හොයන්න බලන්න ඉඩක් නැති දේවල් පැත්තකට දාමු...
බොහොම සරලවම සාමාන්‍ය දැනීමෙන් හොයල බලන්න, විමසන්න පුලුවන් දේවල් පවා අපි අමතක කරන අවස්ථා කොච්චරක්ද...?
එහෙම කිරීම නිසා අපිට අහිමි වුණ දේවල් කොච්චරක් වෙන්න පුලුවන්ද...
.
.
තමන්ට වඩා දන්න අය ලෝකේ ඉන්න පුලුවන්, ඒත් තමන්ට වඩා විස්වාස අය ලෝකෙ නෑ...
සරලවම..
.
.
.
නෝටී


Sunday, January 28, 2018

ඊගෝ එක කොච්චර ලොකුද......?

රටේ ලෝකේ ඇවිදපු මිනිස්සු එක්ක කතා කරන එක වෙනමම අත්දැකීමක්...ඒ මිනිස්සු ලබා ගත්තු අත්දැකීම බෙදාගන්න එක වාසියක්... ඉතිං ලඟදි දවසක ඔස්ට්‍රියානු ජාතික මිත්‍රයත් එක්ක පොඩි කතාවක ඉන්න අතරේ එයා මේ රට ගැන හිතන විදිහ ගැන අපේ කතා බහ යොමු වුණා ....
.
මේ රටේ මිනිස්සු ජනිත් හරිම ආවේගශීලියි... හිතන්න ඔයා බීච් බෝයී කෙනෙක් කියල..මම ඔයා එක්ක කතා කරපු ගෙස්ට් කෙනෙක් එක්ක හයර් එකක් ගියොත් මොකද වෙන්නෙ... ඔයා කෙලින්ම කියන්නේ මාව මරනව කියල... පොඩි දේකට වුණත් මේ මිස්සුන්ට මුලින්ම කටට එන්නෙ මරනව කියන එක... ඒ වගේම එයාල ඒක කරන්නත් ඉඩ තියෙනව... ඒක නිසා මිනිස්සු එක්ක වැඩ කරද්දි ඔයා හුඟක් පරිස්සම් වෙන්න ඕනේ....
මම මගේ රටේදි එහෙම දේවල් අහන්නෙ හුඟක් කලතුරකින්... මේක හරියට රබර් පටියක් වගේ... මෙහෙ මිනිස්සුන්ගෙ රබර් පටිය හුඟක් ඉක්මණට කැඩෙනව.. දුර අදින්න බෑ... එහෙදි එහේ නෑ... ඒ මිනිස්සු ඉක්මන් කේන්ති කාරයො නෙමෙයි... මේ අවුරුදු ගාණක් මෙහෙ ඉදල මම අත්දැකපු දේ ඒක....
.
මං මටම හිනා වුණා... කතාව බොරු නෙමෙයිනේ... ඒ කතාව එතනින් ඉවර වුණා...
.
ඊලඟ දවසේ උදේ වැඩට ඇවිත් වාඩි වුණා විතරයි...මට කෝල් එකක්... එම් ඩී ගෙ නොම්මරේ ඉල්ලනව.. අපේම ගෙස්ට් කෙනෙක්... සමහර වෙලාවට ගෙස්ට්ල එක්ක එම් ඩී කතා කරහම ඒ පෞද්ගලික ඇදුනුම් කම මත එයාල කතා කරන එක සාමාන්‍යයි...
ඒක දීලා ඊමේල් එක බලන්න ගත්ත... උදේ පාන්දරම දිග හෑල්ලක් එවල... කලින් දවසෙ චෙකින් වුණ ගෙස්ට් කෙනෙක්... ඔන් අරයිවල් පේමන්ට් එක ගනිද්දි රිෂෙප්ශනිස්ට් එක්ක පොඩි අවුලක් දාගෙන... එයාට ඉන්සල්ට් කරා කියල නඩු දානව කියල ඊමේල් එක එවල තියෙන්නේ...
ඉතිං මොකද කරන්නේ... " ගෙස්ට් ඊස් ඕල්වේස් රයිට් " කියල ගෝල්ඩන් රූල් එක දෙතුන් පාරක් කියවගෙන මිනිහව හම්බ වෙන්න ගියා... ප්‍රශ්නෙ හිතපු තරම් ලොකු නොවුණත් මිනිහ මට කියපු ටික වැදගත්.....
.
" උඹ දන්නවද ඉන්දියන්කාරයෙක්ගෙ ඊගෝ එක කොච්චර ලොකුද කියල...එයා ගැහුවෙ ඒකට... ඉතිං මම එයාට මේ හරියක කිසිම හෝටලේක වැඩකරන්න බැරිවෙන්න ලියනව.. ඔයාලා දන්නෑ මම කවුද කියල... ඉස්සරහට සමහරවිට දැනගනීවී..."

කියල කිව්ව... මමත් බය වුණා... මං මෝහන්ගෙ දකුණු අතක්ද දන්නෑනේ...ඒක නිසාම කවුද කින්ද මන්ද කියල අහන්න ගියෙත් නෑ... පස්සෙ එයාම කිව්ව මම බ්ලොග් රයිටර් කෙනෙක් 8000කට වඩා රීඩර්ස්ල ඉන්නව මට කියල....
එක අතකට ඉතිං හරි... යන්තන් දාහක් දෙදහක් රීඩර්ස්ල නැති අපි වගේ සිල්ලර බ්ලොග් කාරයෝ එක්ක එයාල පොරවල් වෙන්න ඇති... ඒ එක්කම මට මතක් වුණා අපි වගේ 60ගුණයක් ලොකු රටක්නෙ යකෝ ඒක ඉතින් අඩුම 60000ක්වත් ඉන්න එපැයි කියල....
.
කොහොම වුණත් මගේ මිත්‍රයා කියපු කතාව හරි... අපි හරිම ඉක්මන් කේන්ති කාරයො... ඉන්දියාවත් ඒ වගේ... ඇත්තනේ ඉතින්, ආගමේ ඉදන්, වාහන ටෙලි නාට්‍ය පවා අපි අරගන්නේ ඕකෙන්නේ... ඉතින් වෙනසක් තියෙන්න බෑ....
.
ඔය දේවල් යටපත් කරගන්න උගන්නපු හොදම ගුරුවරය ඉපදුනේ එහෙ, ඒ ඉගැන්වීම් වැඩිම කාලයක් පැවතෙන්නෙ මෙහෙ, එහෙමයි අපි කියන්නේ... හැබැයි ඒ මනුස්සය ජීවතුන් අතර හිටියනම් බුදු ශුවර් යුරෝපෙ කොහෙන් හරි සිටිසන් ගන්නව ගන්නවාමයි...
.
.
.
නෝටී