Monday, December 24, 2018

ඒත් අර පුංචි ජීවිත....?

සුපුරුදු පරිදි මමත් මගේ ඕස්ට්‍රියානු මිත්‍රයාත් රාත්‍රී ආහාරය සමඟ කතා බහක... මේ අතර අපි ක්‍රම ක්‍රමයෙන් වාහන සහ මාර්ග තත්ත්ව ගැන කතා බහකට යොමු වුණා... එතනින් එහාට අපි එය මෝටර් බයික් දක්වා පටු කරගෙන කතා කරගෙන ගියා...

" ජනිත් මෙහෙ මිනිස්සු නිවුස් බලනවද..? පත්තර කියවනවද..? ෆේස් බුක් යනවද..?"

එක පාරටම මගේ මිත්‍රයා අහපු ප්‍රශ්නෙන් මම තුෂ්නිම්භූත වුණා.. මේ මනුස්සයට පිස්සුද..? මට එකපාරටම හිතුනා... අවුරුදු 30කට කිට්ටු කාලයක් මේ රටට ආපු, දශකයක් විතර මේ රටේ ජීවත් වුණ මනුස්සයෙක් අහන ප්‍රශ්නයක්ද මේ..?

" ඔව්, බහුතරයක් ඔය දේවල් වලින් එකක් හෝ කිහිපයක් පාවිච්චි කරනවා.."

මම ඔලුවට ආපු පුදුමය එහෙමම තියාගෙන කිව්ව...

" එතකොට එයාලා මේ බයික් ඇක්සිඩන්ට් දකින්නැද්ද..?"
එයා ආයෙත් ඇහුවා...

" අනිවාර්‍යයෙන් දකිනවනේ..."

මම ආයෙත් කිව්ව...

" එහෙනම් ඇයි එයාලා එක බයික් එකක කීප දෙනෙක් දාගෙන යන්නෙ... මේ අම්මල තාත්තල දරුවන්ට ආදරේ නැද්ද..? එයාල දකින්නැද්ද ටැxකිය උඩ තියාගෙන යන ලමයි ඇක්සිඩන්ට් වලින් මැරෙන හැටි... ?

එයා ටිකක් ආවේගෙන් ඇහුවා...

" මෙහෙමනේ... ඒ මිනිස්සුන්ගෙ ආර්ථික තත්ත්වය එක්ක තමයි මේක වෙන්නෙ... එයාලට කා එකක් ගන්න තරම් සල්ලි නෑනේ... ඒකයි..."

මම පැහැදිලි කරා...

" ඔහ්, කමෝන් ජනිත්.... ආර්ථිකය හරි නෑ කියල ලමයෙක් අවධානමේ දාන්නෙ මොන අම්මද..? මොන තාත්තද..? එයාලට නඩත්තු කරන්න බැරිනම් ඇයි ලමයි හදන්නේ..? "

ඒ ප්‍රශ්නයට නම් මමත් නිරුත්තර වුණා...ජීවිතයක වටිනාකමට වඩා මිනිස්සුන්ට හිතන්න වද වෙන්න ප්‍රශ්න තියෙන රටක් නේද මේක කියල මටත් හිතුනා...

අම්මෙක් තාත්තෙක්ගේ වටිනාම සම්පත දරුවො වෙච්ච සමාජයක ඊටත් එහාට, ඒක අභිබවන්න පුලුවන්, ඒක අමතක කරවන්න පුලුවන්, ඒක දෙවැනි කරන්න පුලුවන් ප්‍රස්තුත ඇති වීමම කොයි තරම් කේදවාචකයක්ද..?

මේක මොකක ප්‍රතිඵලයක්ද..?මොන වගේ සමාජ සංසිද්ධියක ප්‍රතිඵලයක්ද..? මිනිස්සු මානුශිය ගුණ අමතක කරගෙන යන්න තරම් දුවන්න වුණ රේස් එක මොකක්ද..? ඇත්තෙන්ම එහෙම රේස් එකක් අත්‍යාවශ්‍යද..?

දාහක් ප්‍රශන අස්සෙ මම මොහොතකට හිර වුණා... සමහරවිට ප්‍රායෝගික තත්ත්වයට බැස්සම මගේ මිත්‍රයාගේ කතාව අභියෝගයට ලක් කරන තර්ක ඇති තරම් හම්බ වෙන්න පුලුවන්....

ඒත් අර පුංචි ජීවිත....?

උන් නොදන්න අවදානමක වැටෙන්න තරම් කරල තියෙන වැරැද්ද මොකක් වෙන්න පුලුවන්ද..? ඒ අත්දැකීම ජීවිත කාලෙම විනාස කරන අවස්ථා වෙන්න ඉඩක් තියෙද්දිත් තමන්ගෙම අම්ම තාත්ත ඒ අවධානම ගැනීම ගැන දැනුවත් නම් උන්ගෙ තීරණය මොකක් වෙන්න පුලුවන් පුලුවන්ද... උන්ගෙ හැඟීම් මොකක් වෙන්න පුලුවන්ද..?
.
.
.
නෝටි....


Saturday, December 15, 2018

ලස්සනම මතක තියෙන්නෙ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න යන කාලේ .....

" මචං, ඒකි ඉන්න තැන බලාගන්න යන බස් එකේ නැගල යමුද..? "

ඌ අහන්නේ කළුතර ඉදලම කෙල්ල එන බස් එකේ ඇවිත් අළුත්ගමිනුත් බැස්සට පස්සෙ...වෙලාව 6ට කිට්ටුයි...උදේ ඉඳලම බස් එකටයි ක්ලාස් එකටයි පාරේ කඩේටයි සින්න වෙච්ච දවස එපාම කරපු මහන්සියක් දෙන්නෙ...

ඒ 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟ දවස... ශ්‍රීලංකාවයි ඕස්ට්‍රේලියාවයි ආයෙත් මුහුණට මුහුණ... මගේ කැමහිම එකා තමයි කැපටන්, මහේල....ඒත් මූ ඊට වඩා වටිනවනේ...

" හරි යමන්..."

බස් ස්ටෑන්ඩ් එක ඇතුලෙන් ගිහින් කෙල්ල වාඩි වුණේ කාලවිල බස් එකේ... කාලා වරෙන්කො...මේකි කොහෙන් බහිනවද කියල දෙයියෝ තමයි දන්නේ.. ඕනේ එකක් 20යි කියල ගත්තා ටිකට් කාලවිලටම....

බස් එක පාදගොඩට එද්දි කෙල්ල බැස්සා... ටිකට් අමතක කරල අපිත් බැස්සා... දැන් කෙල්ලට මීටර් 200ක් විතර දුරක් තියාගෙන පස්සෙන් යනවා.. මේ කෙල්ල යනවා යනවා යනවා ඉවරයක් නෑ යනවා...
ඈතින් පෙනුන තුන්මන් හංදියෙන් එක පාරටම කෙල්ල අතුරුදහන් වුණා... මොන තාලෙන් හෙව්වත් ඒ කෙල්ල ගිය ගෙයක් හොයාගන්න අපිට විදිහක් තිබුණා... කිලෝ මීටරයක් විතර පයින් ඇදල සෑහන අමාරුවෙන් හිටපු අපි ආයෙත් ඒ දුරම පාරට ආවා... කලුවරත් වැටීගෙන එද්දි පාදගොඩ ඉදන්ම ගාලු පාරටම අපි පයින් ආවා...

ගෙදර ඇවිත් කකුල් දෙකත් උඩ තියාගෙන අපි මැච් එක බැලුවා...

එදා මැච් එක අපි පරාදයි...
ඒ වගේම ලව් එකත් පරාදයි...

හැබැයි ඒ මතකය සෑහෙන ආතල් එකක් අපිට ඉතුරු කරා.. අදට 11ක් වෙද්දිත් අපි හිනාවෙන්නෙ ඒ මතක එක්ක... ඒ කෙල්ල අදට අයුර්වේද වෛද්‍යවරියක්... එතනින්ම බෙහෙත් ගන්න ගිය මමයි මගේ එකයි දෙන්නම එතනින් එලියට ඇවිත් බඩවල් අල්ලගෙන හිනාවුණේ ඒ පරණ මතක එක්ක...

ජීවිතේ ලස්සනම මතක තියෙන්නෙ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න යන කාලේ.... ඒ තමයි හොඳම මතක... ඒකත් අනිකට කරදරයක් නොවෙන්න කරපු අහිංසක උත්සාහයන් වල... උඹලත් හැමතිස්සෙම තියාගනිල්ල මැරෙන්න ඕනේ මතක වෙනුවට ජීවත් වෙන්න පුලුවන් මතක...

ජීවිතේ කියන්නෙ ඒකටලු... එපා කරපු මතක මත්තේ මැරෙන්න ඕනේ කියන ඇත්තෙන්ම අත්‍යාවශ්‍ය දෙයක් කියල අපි හිතුවට ඒක එහෙම නෙමෙයි... ඒක අපිම දාගත්තු කරදරයක් විතරයි...

ඒ වෙනුවට අපිට තියෙන හිනා වෙන්න පුලුවන් ඒවා එක්ක ඉස්සරහට යමු... ඒක අපිට වගේම අපේම පහල පරම්පරාවලටත් ලොකු උදව්වක්, අත දීමක් වේවී... හොද මතක, හොද සමාජයකට පාර කපාවි....
.
.
.
නෝටී


Monday, December 3, 2018

අපේ කාලේ මෙහෙම නෙමෙයි....!




බුකියට ලොග් වෙනකොට පේන කන්ටේනර් ගනන් සංවේදී පෝස්ටු පේනවද...? එක එක ආකාරයේ සමාජගත ආතල් ගැන පෝස්ටු දැකල තියෙනවද..? සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියල බෙරිහන්දෙන පෝස්ටු දැකල තියෙනවද..?  රටට කිසිවක් නොකරම කොමිස් කුට්ටියට වැඩ කරන හොරාකන දේශපාලකයන්ට දෝශාරෝපණය කරන පෝස්ටු දැකල තියෙනවද..? ගල් බෝතලේට බත් පැකට් එකට රු.1000ට දේශපාලන රැස්වීම් වල බඩගාන්නෙපා කියන පෝස්ට් දැකල තියෙනවද...?
ඇති තරම් නේද...?
දැන් බලන්න, සත්‍ය ජීවිතේට ලොග් වෙන කොට ගමේ පාර සුද්ධ කරගන්න කුණු ටික වෙන් කරල යවන්න උනන්දුවෙන මිනිස්සු දැකල තියෙනවද..?
ගමේ සමාජ සේවා සංගමයක් පිහිටවන්න තරුණයෝ තරුණියෝ කී දෙනෙක් ඉන්නවද..?
සහතිකයක්, තෑග්ගක් නැති තරඟාවලියකට ඉදිරිපත් වෙන්න කී දෙනෙක් හොයාගන්න පුලුවන්ද...?
ඒ අමාරු දේවල්මය කියල පැත්තකින් තියලා අපේ වියදම් හෝ කාලය අවම දේවල් බලමු...
බැංකුවක, ශෙඩ් එකක එහෙමත් නැත්තන් අඩුම දන්සලක පෝලිමේ ඉවසීමෙන් ඉන්න පුලුවන් කී දෙනෙක් ඉන්නවද....?
කහ ඉර මීටර් කීපයක් ඉස්සරහ තියෙද්දි පාර පනින අය කී දෙනෙක්ද..?
කලර් ලයිට් එකේ තත්ත්පරේ පරක්කුවට හෝන් එක උඩ නගින අය කී දෙනෙක්ද...?
......................
මේ ටික බැලුවම පේන්නෙ මොකක්ද...? මිනිස්සු සෑහෙන ආත්මාර්ථකාමියි... ඒ වගේම එහෙම නෑ කියල පෙන්නගන්න සෑහෙන ගේමක් දෙනවා... අඩෝ මම මේ සිස්ටම් එක බලපන්.. මේක වෙනස් කරන්න ඕනේ... මේක හරි අසාධාරණ සිස්ටම් එකක්.. අන්න එහෙම කියල  මම සෑහෙන හොදයි මම මේ සිස්ටම් එකට වගකිවයුතු නැති එකෙක් වගේ චිත්‍රයක් මවන්න හදනවා...
ඒත් ඇත්ත වෙනම කතාවක්... මම කැමති නෑ මට ප්‍රතිලාභයක් නැති මගුලකට මැරෙන්න... මම කැමති නෑ මට පාඩුවක් කරගෙන සමාජයට කඹුරන්න... මම කැමති නෑ අනිත් එකාට පහලින් ඉන්න... මම කැමති නෑ මගේ පහසුවට වඩා නීතී රීතී ගැන සැලකිලිමත් වෙන්න..  මම කැමති නෑ සුලු සුලු සදාචාරාත්මක හෝ විනය කාරණා නිසා කට්ට කන්න...
මොනවටද මම කැමති....?
මම කැමතියි අනිත් අය හැමෝම සමාජ සේවය කරන කාලෙක ඒකට සෙට්වෙන්න...
මම කැමතියි කවුරු හරි බර කරට අරන් කරද්දි ඒකේ පොඩි කොටසක් වෙන්න...
මම කැමතියි මටත් යමක් ලැබෙන තැනකට ශ්‍රමය දෙන්න...
මම කැමතියි අනිත් හැමෝම පෝලිමේ ඉන්නවනම් ඒක අනුගමනය කරන්න...
ඔය ටික තමයි මම කැමති... ඔයවගේ කැපකිරීමක් මට සමාජය වෙනුවෙන් කරන්න පුලුවන්.. ඒ මම ඇත්තටම පරාර්ථකාමී නිසා... ඒ එක්කම අනිත් අයත් එහෙම වෙන්න ඕනේ.. සමහරු ඒක ලීඩ් කරන්න ඕනේ.. ඒකට මම එච්චර කැමැත්තක් නෑ.. ඕවා කුණු ගොඩවල් නේ..
ඕක තමයි සරල සමාජයීය පැතිකඩ අපේ... අන්න ඒ ඉමේජ් එක සාක්කුවේ දාගෙන ජීවත් වෙන තක්කඩි තමයි අපි... පොඩි උත්සාහයක් ඇති මේක වෙනස් කරන්න... හැබැයි ඒක අනුන්ගෙන් නෙමෙයි... තමන්ගෙන් එන්න ඕනේ.. මගෙන් එන්න ඕනේ...
මේක තමයි තාරුණ්‍ය අද වෙද්දි මුහුණ දෙන විශාලම අභියෝගය... ප්‍රතිලාභ නොලබන පරාර්ථයකට යොමුවීම...
මේක තමයි ඉහල පරම්පරාවෙන් නොලැබෙන ඔවුන්ට ලැබියයුතු පණිවිඩය වගේම ආදර්ශය....
ජීවිතය රේස් එකක් නෙමෙයි....
කොහෙත්ම තරඟයක් නෙමෙයි...
මේක ටීම් වර්ක් එකක්...
ඔබ මම මේ මේන්ටේන් කරන ආත්මාර්ථකාමීත්වය කිසිසේත්ම සත්‍ය ප්‍රතිඵලදායක යමක් නෙමෙයි... අද මේක මේ මොහොතට ඔබට මට ආතල් එකක් සපයාවී.... තව අවුරුදු කිහිපයකින් ඔබත් මමත් මේ වෙනුවෙන් නිවී හැනහිල්ලේ පසුතැවේවී...
අන්න එදාට අපේ කටවල් මේ වාක්‍ය නොකිව්වොත් ඒක ලෝක පුදුමයක් වේවී....
" අපේ කාලෙ නම් මෙහෙම නෑ..."
ඔව් අපේ කාලේ එහෙම නෑ.. එහෙම නොවෙන කාලෙකට අපි පාර කපල දුන්නා... එච්චරයි...
හෙට හොදම දවස..... අද නෙමෙයි...
.
.
.
නෝටී