Tuesday, November 29, 2016

සේකර නේද කිව්වෙ.. " ලෝකය තනි යායක්" කියල.....

ඊයේ රෑ ගෙදර ගියේ මාසෙකින් වගේ...එක දිගටම මාසයක් වැඩ කරා කියන එක එච්චර ගානක් වුණේ නැති වුණාට ගම කියන එක මතු කරන්නෙ වෙනමම හැඟීමක්...විස්තර කරගන්න බැරි අමුතු නිදහසක් ඔලුවට දෙන්න, හිනාවක් මූණට දෙන්න, සැහැල්ලුවක් ඇඟටම දෙන්න පුලුවන් එකම තැන ගම...
වේලිච්ච දෙසැම්බර් හුළඟ ඇඟට ගේන්නෙ තෙහෙට්ටුවක් නම් නෙමෙයි...නොවැම්බර් ඉවර වෙන්නත් කලින්ම ආවේ ආදරේටද, තරහටද කියන්න බැරි වුණාට ඒ සීතලට හිත යටින් මම ආස කරා...
ගෙදරදි තමයි මතක් වුණේ වැදගත්ම ඊමේල් වගයක් තියෙනව නේද යවන්න කියල...උදේ නැගිටල ආයෙත් ආවා...එන ගමන් පුරුදු තේ කඩේ ගාව වීල් එක නවතින්නෙ ඉබේටම...කොණකට වෙන්න වීල් එක නවත්තද්දිම කජු, කඩල විකුණන වයසක මාමා කෙනෙකුත් ආවා..කජු කඩල මල්ල අයිනකින් තියල කොලේකින් වහපු මාමා කඩේ පිටි පස්සට ගියා...තත්පර ගාණයි ගියේ මෙන්න මිනිහා තැන තැන වැටිච්ච කොල අතුගානව ඉදලත් අරන්...
.
මම දන්නව කඩේ මිනිස්සු කවදාවත් ඕක කරන්න ඒ මනුස්සයට කිව්වෙ නෑ කියල..ඒත් ඒ මනුස්සය කිසි හාවක් හූවක් නෑ දිගට වැඩ...
මිනිස්සු කොයි තරම් නම් සුන්දරයිද...?
.
අපේ තියෙන වැරැද්ද සිද්ධියක් දැක්කම ඒකත් එක්ක බැදිච්ච දාහක් දේවල් ඔලුවට තත්පරේට ගලාගෙන එන එක...මමයි කියල වෙනසක් නෑනේ..හිත ගියේ ඒ ලෙවල් ලාස්ට් ඉයර් එකට...ස්කෝලෙ නොගියත් කෙල්ලව බලල කතා බහ කරගන්න මම 1.30 වෙද්දි පානදුර බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එකට නගින එක වරදින්නෑ...
එදත් පුරුදු විදිහටම මිද්දෙනිය බස් එකේ ආවා...අලුත්ගමින් පුරුදු විදිහටම කජු කඩල විකුණන අය කීප දෙනෙක් නැග්ග...මම ඊලඟ එකෙන් බහින්න ඕනේ නිසා ෆුට් බෝඩ් එකට බැස්ස...බෙන්තර පාලම කිට්ටු වෙද්දි වයසක කඩල කාරයෙක් මට උඩට එන්නලු..මම කිව්ව මම බහින්න ඉන්නෙ තව ටිකකින් ආයේ උඩට එන්න දෙයක් නෑ කියල...මේ යකා මට පාරකුත් ගහගෙන එක පාරටම පාලම් දෙක මැද්දෙ බස් එක ස්ලෝ වෙද්දි පැන්න...මට පුදුම කේන්තියක් ආවේ...ඒ වෙලාවෙ අහු උනානම් ඕකව ගඟට දානව කියල මම කොන්ද එක්කත් කිව්ව...කේන්තිය හිතේ හුඟක් වෙලා තියෙන්නෑ..ඒක අමතක වුණා....දැන් අවුරුදු 09ක් වෙනව...අදටත් ඒ මනුස්සය කජු කඩල විකුණනාව...
ඔව් ඒ මම එදා වෛර කරපු මිනිහ...අද මම සොඳුරු මිනිහෙක් විදිහට දකින මිනිහ.. දෙන්නෙක් නෙමෙයි...ඒ එක්කෙනෙක්....
.
හැම කලු පසුබිමකම පොඩි හරි සුදු තිතක් හරි තියෙනවමයි....හැම මිනිහෙක් ලඟම හොඳ නරක දෙකම තියෙනව...මේ දෙක කලමණාකරණය කරගන්න විදිහටයි අපිව සමාජයෙන් හංවඩු ගහන්නෙ...
.
.
අන්තිමට මටම හිනාවක් ගියා...ෆිල්ටරේටම පත්තු වෙච්ච ඩන්හිල් එක අයිනට දාලා පාගල මම වීල් එක ස්ටාර්ට් කරගත්ත...
.
ඔව්....කාලයක් මම වෛර කරපු මිනිස්සුම මම ආදරේ කරන වුන් වෙලා...මම ආදරේ කරපු උන්,....
උන්ට සමහර වෙලාවට මම උන්නද මලාද මතකත් නෑ...
.
ආදරේ කරන මිනිස් ගොඩ අඩු කරගන්නෙක හරි නෑ...වෛර කරපු උන්ගෙ හොද හොයන්න මම හිතා ගත්තා...ඒ හොදට ආදරේ කරල ආදරේ ගොඩ වැඩි කරගන්න ඕනේ...
.
ලෝකෙටම ආදරේ කරන එක එතකොට මහ දෙයක් නෙමෙයි...
.
.
සේකර නේද කිව්වෙ.. " ලෝකය තනි යායක්" කියල.....
.

.
.
.
.
.
.
නෝටී

No comments:

Post a Comment